සිං පහළ ගෙදර ජයලලිතා නෝනාට බයයි

සිං පහළ ගෙදර ජයලලිතා නෝනාට බයයි


ව්‍යාපාරිකයන්ට, සල්ලිවලට විකිණිච්ච සමහර පිරිසගේ හඩවල් යටපත් කර සැබෑ ජනමතය මතුකරගැනීමට නම් කැසිනෝ ගැන ජනමත විචාරණයක් පවත්වීමට ආණ්ඩුවට යෝජනා කරන බව බස්නාහිර පළාත් කෘෂිකාර්මාන්ත අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.




අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ අත්පෙහෙකම් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට එක් වෙමිනි.


කැසිනෝ විරෝධය ඇත්තේ බෞද්ධ රටක් වුණු ලංකාවේ විතරක් නොවන බවත් ඇමරිකා එක්සත් ජනපදයේද කැසිනෝ විරෝධයක් පවතින බවත් ඇමරිකාව, කැනඩාව, රුසියාව වැනි ඉතාම බලවත් රටවල පවා දැඩි කැසිනෝ විරෝධයක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම අවස්ථාවට ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා මන්ත්‍රීවරියත් අත් පෙහෙකම් සාරියක් වගේ බවයි. ඒ වර්තමානයේ දහස් ගණනින් තොග ගණනින් අද නිළියන් බිහිවුනත් අප රටේ නිළි රැජිනියන් ඉන්නේ එක්කෙනෙක් බවත් ඒ මාලනී ෆොන්සේකා මහත්මිය පමණක් බවයි.


වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ලෝකෙම ලොක්කා විදිහට සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෝකෙටම ලොක්කා. අපි හිතාගෙන හිටියේ එයා කාටවත් බය නැහැයි කියලා. හැබැයි එයා ලගදී කියලා තිබ්බා මම බය එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ගෙදර නෝනා කියලා. එතුමා අවුරුදු හයකින් සිගරට් එකක් බිව්වේ නැහැලූ නෝනට තියෙන බය නිසා. ඉතින් එතුමා සාධාරණයි. ගෙදර නෝනට පොඞ්ඩක් බය වෙලා හිටියට කමක් නැහැ. හැබැයි එතුමා අවංකයි. එතුමා නෝනට බයයි කියලා මුළු ලෝකෙටම ඇහෙන්න ප්‍රසිද්ධියේ කිව්වා. තවත් එක්කෙනෙක් ඉන්නවා. එයා බය ගෙදර නෝනට නෙවෙයි. පල්ලෙහා ගෙදර නෝනට. හැබැයි එයා පල්ලෙහා ගෙදර නෝනට බයයි කියලා කියන්න ටිකක් ලැජ්ජයි. ඒ තමයි අපේ අල්ලපු රටේ අගමැතිතුමා මන්මෝහන් සිං මැතිතුමා. එතුමගේ පහළ ගෙදර ඉන්නවා ජයලලිතා කියලා නෝනා කෙනෙක්. ඒ නෝනට හරිම බයයි. ගෙදර නෝනට බය වෙන එකනම් මට හිතාගත හැකි. හැබැයි මෙ පහළ ගෙදර නෝනට මෙච්චර බය ඇයි කියලා මට තවම තේරෙන්නේ නැහැ.


කොහොම නමුත් අපේ රටේ ලොකු මගුලක් කනවා තව සති තුනකින්. 1976 නොබැදි සමුළුව පැවැත්වුණාට පස්සේ ලංකාවේ අපි පවත්වන ලොකුම රාජ්‍ය නායක සමුළුව ලබන මාසයේ පවත්වන්නට නියමිතයි. අපේ රටට දේශ සීමා අපිත් එක්ක බෙදාගන්න අසල්වැසියන් ඉන්නේ එකම එක රටක් විතරයි. ඒ තමයි ඉන්දියාව. ඉතින් අපේ අල්ලපු රටේ අගමැතිතුමා පහළ ගෙදර නෝනට තියෙන බයට මේ මගුලට එන්නේ නෑයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඔන්න අද නම් පත්තරවල තියෙනවා එතුමා එනවා කියලා. හැබැයි අර ජිනීවා යෝජනාව වගේද දන්නේ නැහැ. ජිනීවා යෝජනාවලටත් අත උස්සනවා අත උස්සනවා අපි ඉන්නේ ලංකාවත් එක්කයි කියලා දිගින් දිගටම කිව්වා. හැබැයි පහළ ගෙදර නෝනා පොඩි සද්දයක් දැම්මා විතරයි. අනේ අකුලගෙන කිව්වා නෑ අපි අනික් පැත්තේ කියලා. ඉතින් අන්තිම මොහොතේ එතුමා එනතුරුම අපිට විශ්වාසයක් නැහැ එතුමා එයිද නැද්ද කියලා. හැබැයි ඒ අතරේ ඒ අය අපිට චෝදනා නගනවා. ලංකාව චීනයේ ඔඩොක්කුවට වැටිලා කියලා. අපි චීනයේ ඔඩොක්කුවට වැටිලා නැහැ. අපි හොඳටම දන්නවා අපිට ඉන්න එකම දේශ සීමා බෙදාගන්නා අසල්වැසියා ඉන්දියාව. අපේ සංස්කෘතිය හදුනන රට ඉන්දියාව. හැබැයි ඉන්දියාව ජයලලිතා නෝනාට බයේ අපිව චීනය පැත්තට තල්ලූ කරමින් ඉන්නවා. අපි චීනයේ ඔඩොක්කුවට වැටුනොත් එහෙම වැටෙන්නේ අපි ගිය හින්දා නෙවෙයි. චීනය උදුරලා ගත්ත හින්දා නෙවෙයි. ඉන්දියාව අපිව එතනට තල්ලූ කරන නිසා. අපේ මගුලට එන්නේ නැතිව හිටියොත් මන්මෝහන් සිං අගමැතිතුමනි අපි නම් තරහා වෙනවා තරහා වෙනවා මයි."


Gamanpila malani



Post a Comment