දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නෑ - Piyumi Botheju

පසුගිය කාලෙ ඔබව නිර්මාණ තුළින් වැඩිපුර දකින්න නොලැබුණේ ඇයි?

දකින්න නොලැබුණේ නෑ. නිර්මාණ කීපයකට සහභාගි වුණා. නමුත් විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක වුණේ නෑ. මේ දිනවලත් මම රඟපාන "දිය මත ලියමි" ටෙලි නාට්‍ය විකාශය වෙනවා. පසුගිය දවස්වල මම චිත්‍රපට කීපයකම රූපගත කිරීම්වලට සහභාගි වුණා.

මොනවද ඒ චිත්‍රපට?

සුදේශ් වසන්ත පීරිස්ගේ "රන්ජා", සනත් අබේසේකරගේ "සිරි දළදා ගමනය", ජනිත මාරසිංහගේ "මගේ යාලු මාළු", දිනේෂ් ප්‍රියසාද්ගේ "ඔළුව ජපන් කඳ ජර්මන්" සිවගුරු නාදන්ගේ "කෝමාර්ක් නෝමාර්ක්" වැනි චිත්‍රපට කීපයකටම මම රංගනයෙන් දායක වුණා.


"සිරි දළදා ගමනය" චිත්‍රපටය ඔබට කෙතරම් වැදගත්ද?

ඇත්තට ම මම ගොඩක් සතුටු වුණා "සිරි දළදා ගමනය" චිත්‍රපටයට මට ආරාධනා කිරීම ගැන. මම සනත් අබේසේකරගේ "මහින්දාගමනය" චිත්‍රපටය නරඹලා තිබුණා. ඒ නිසා මම විශ්වාස කරනව "සිරි දළදා ගමනය" චිත්‍රපටයත් හොඳ චිත්‍රපටයක් වේවි කියලා. "සිරි දළදා ගමනය" බෞද්ධ තේමාවක් මත නිර්මාණය වුණු චිත්‍රපටයක් නිසා මෙහි මම රඟපෑවේ ඉතාම ආශාවෙන්. ප්‍රේක්ෂකයින්ටත් මෙය හොඳ අත්දැකීමක් වේවි. ඒ මොකද, මෙවැනි ඓතිහාසික සිදුවීම් අපි අහල තියෙන්නේ කතන්දර ලෙසයි. ඒවා සිනමා නිර්මාණයක් ලෙස දකින්න ලැබීම ප්‍රේක්ෂකයින්ටත් විශාල භාග්‍යයක්.

ඔබ රඟපෑ විකාශය වීමට නියමිත ටෙලි නිර්මාණ මොනවාද?

"සඳ විනිවිද", "සෙනුරි - 2" ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශය වේවි.

ඔබ රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට වඩාත්ම සමීප වුණේ "පබා" ටෙලි නාට්‍යයේ හිමාලිගේ චරිතයෙන් නේද?

ඔව් ඒක හරි. හැබැයි ඊට පෙර විකාශය වී තිබුණු "හිට් විකට්" ටෙලිනාට්‍යයේ මයුරිගේ චරිතයෙන් මාව ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණා. මයුරිගේ චරිතය කොයිතරම් ජනප්‍රිය වෙලා තිබුණද කිව්වොත් දවසක් බෙල්ලන්විල පන්සලේදි මාව දැකපු උතුරු සළුවක් දාගෙන සිටි ආච්චි කෙනෙක් මගෙ ලඟට ඇවිත්, "ශාරුක් ඛාන් ලියුමක් එව්වද පුතේ" කියල මගෙන් ඇහුවා. ඒ වගේ බාල මහලු සියලුම දෙනාගේ ප්‍රතිචාර මයුරිගේ චරිතයට ලැබුණා. පබා දිනපතා විකාශය වුණු ටෙලිනාට්‍යයක් නිසා හිමාලිගේ චරිතය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ පවුලේ කෙනෙක් බවට පත්වුණා. අද වුණත් ලංකාවේදී වගේම පිටරටදිත් අපේ රටේ ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ "මේ අපේ හිමාලි නේද" කියල. අපේ කියන වචනය යොදල ඔවුන් කතා කරන්නේ මට දක්වන ආදරයට.

පබා ටෙලිනාට්‍යයෙන් ඔබ ලබාගත් ජනප්‍රියත්වය දිගටම රඳවාගන්න ඔබ සමත් වුණා කියල ඔබ හිතනවද?

එළියට බැස්සාම මගේ ජනප්‍රියත්වය හොඳට පේනවා. මගේ තිබුණු ජනප්‍රියත්වයේ අඩුවක් තියෙනව කියල මට නම් දැනෙන්නේ නෑ.

වර්තමානයේදී බොහෝ කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. කලා ශිල්පිනියක් හැටියට ඔබට මොනවද ඒ ගැන හිතෙන්නේ.

ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත.

ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැතිද?

නැහැ. දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නෑ.

ඔබ ඔබට ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්නවාද?

නැහැ. මම ලැබෙන සෑම ආරාධනයක්ම බාර ගන්නේ නෑ. මාත් එක්ක වැඩ කරන අය දන්නවා මම වැඩකරන විදිය. මට කිසියම් නිර්මාණයකට ආරාධනයක් ලැබුණාම මම පිටපත අනිවාර්යෙන් ම ඉල්ලනවා. ඒ; එම පිටපතේ මගේ චරිතය කොයි විදියටද ලියවිලා තියෙන්නේ කියල බලාගන්න. නැතිව කිසිම නිර්මාණයක පෙනී ඉඳල එන්න මම කැමති නෑ. කිසියම් නිර්මාණයක මට දැනෙන යමක් කරන්න පුළුවනි නම් විතරයි මම ඒකට දායකත්වය ලබා දෙන්නේ.

දැන් ඔබ නිවේදන කටයුතුවලින් දුරස් වෙලාද?

නැහැ කොහෙත්ම නෑ. මගේ පළමු රැකියාව නිවේදන කටයුතු ඉදිරිපත් කිරීම. ගුවන් විදුලි නාළිකාවක මම වැඩ කළා. මට ලැබෙන ඇරයුම් අනුව මට හැකි හැම වෙලාවකම මම නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙනවා. පසුගිය දවසක "ෂා FM" ගුවන් විදුලියේ 12 වැනි සංවත්සරය වෙනුවෙන් මම පැය 2 ක් නිවේදන කටයුතු කළා. නිවේදනයට අමතරව මම හඬකැවීම්වලටත් දායකත්වය ලබා දෙනවා. පසුගිය කාලෙ සිරස නාළික‍ාවේ "ප්‍රවීණා" ටෙලිනාට්‍යයේ හඬ කැවීම්වලට සහභාගි වුණා. පසුගිය දිනවල "හිරු ටීවී" එකේ කාටුන් වැඩසටහන්වලටත් හඬ කැවීමෙන් දායක වුණා. ඒ වගේම පිටරටවලින් ලංකාවට ගෙනෙන රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලටත් මම හඬ කවන්න සහභාගි වෙනවා.

ඔබ ඔබේ රංගනයන් සඳහා ලොකු මුදලක් අය කරනවද?

නැහැ මම හිතන්නේ නෑ මම එතරම් විශාල මුදලක් අය කරනවාය කියල. මම මුදල් පස්සෙ යන කෙනෙක් නෙමෙයි. මුදල ගැන පමණක්ම හිතල රඟපාන කෙනෙක් නෙමෙයි. නමුත් මගේ රංගන වටිනාකමට ගැළපෙන මුදලක් මම අය කරනවා. සමහර ටෙලිනාට්‍ය වලට කතා කළාම ඔවුන් මට ලබාදෙන ඇඳුම් ආයිත්තම් මට ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඒ ඇඳුම් මම මගේ පෞද්ගලික වියදමින් ගන්නවා. රූපගත කිරීම්වලට මම යන්නේ මගේ වාහනයෙන්. මේ වියදම් ගැන හිතන විට ම‍ගේ රංගනයට ගෙවන මුදල කොහෙත්ම වැඩි නැහැ කියලයි මම හිතන්නේ. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12 ක් විතර වෙනවා. අද ඊයේ ක්ෂේත්‍රයට ආව අය අතරත් මා වැනි මුදලක් අය කරන අය ඉන්නවා. ඒ නිසා මම කොහෙත්ම හිතන්නේ නෑ රංගනයන් සඳහා මම අය කරන මුදල වැඩියි කියලා.

රංගනයෙන් ඉවත් වෙන්න එහෙම අදහසක් තියෙනවාද?

නැහැ කොහෙත්ම නෑ. රංගනය පහසු දෙයක් නෙමෙයි. මේ ක්ෂේත්‍රයට එන්න පහසු නැහැ. පහසුවෙන් ආවත් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පහසු නෑ. ඒකට දක්ෂතාව වගේ ම වාසනා ගුණයත් තියෙන්න ඕන. මගේ හැකියාව සහ වාසනාව දෙවියන්ගෙන් මට ලැබුණු දෙයක් කියලයි මම හිතන්නේ. මම ඒ වාසනාවට පයින් ගහන්නේ නෑ.

කලා ක්ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවුණු අවස්ථා තිබෙනවාද?

තියෙනවා. සමහර නිෂ්පාදකවරුන් රඟපෑම නිසා අපට ලැබෙන්න ඕන මුදල, "පඩිය", ගෙවන්නේ නැති වුණාම කලකිරුණු අවස්ථා තිබෙනවා. අපි අපේ ශ්‍රමය කාලය කැප කරල රූපගතකිරීම්වලට සහභාගි වුණා නම්, ඒ වෙනුවෙන් නියමිත මුදල අපිට ලැබෙන්න ඕන.

ඔබ ආගමට ලැදි කෙනෙක් ද?

අනිවාර්යෙන්ම ඔව්. මම ඕනෑම වැඩකට උදේ ගෙයින් පිටවෙන්නේ බුදුන් වැඳල බුද්ධ පූජාව තියලයි. සෑම සෙනසුරාදාම මම බෙල්ලන්විල පන්සලට යනවා. මේ දවස්වල මගේම කියල ගෙයක් හදාගෙන යනවා. ඒ ගෙයි ඉස්සර වෙලාම මම නිර්මාණය කළේ බුදු කුටිය. ඒ ආශිර්වාදය මගේ ජීවිතයට හැමදාම තියෙනවා.

ගාමිණී සුසන්ත
ඡායාරූපය - ඉන්දික මල්ලවආරච්චි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment