සංහිඳියාව තුළින් ප්‍රජාවන් අතරේ අවබෝධය ඇති කරගන්න


ශ්‍රී කි‍්‍රෂ්ණ දෙවිඳුන් අධර්මය පරදවා ධර්මය ජයගත් දිනය ලෙස භාරතය ඇතුළු ලොව පුරා හින්දු භකිත්කයන් ඉතා හරසරින් සමරන හින්දු ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය අදට(02) යෙදේ.




ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව වෙනුවෙන් දීපවාලි සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.


ආලෝකයේ මංගල්‍යය ලෙස හැඳින්වෙන දීපාවලිය, මෝහයේ අඳුර පරයා දැනුමේ ආලෝකය උදාවීම සංකේතවත් කරයි. එමෙන්ම එය නපුර පරදා යහපතෙහි ජයග්‍රහණය ද සහතික කිරීමකි.


මෙම ශ්‍රේෂ්ඨ වන්දනීය මංගල්‍යය සැමරීමට ලොව පුරා වෙසෙන සිය සහෝදර බැතිමතුන් සමඟ එක්වන ශ්‍රී ලාංකීය හින්දු ජනයා, මෝහය තුළින් හටගන්නා අයහපත පරදවා දැනුම හා අවබෝධය ලබා ගැනීමට හැකිවීම පිළිබඳ තමන්ගේ මහත් භක්තිය හා කෘතඥතාව දෙවිවරුන්ට ප්‍රකාශ කිරීමක් ලෙස වන්දනාමාන කිරීම, අධ්‍යාත්මික කටයුතුවල නිරතවීම, වන්දනා ස්ථානයන් තුළ පහන් දැල්වීම හා නිවාස ආලෝකමත් කිරීම වැනි දෑ සිදු කරනු ලබයි. මෙය ද ලෝකයේ ඇති භෞතික අගයන්ගෙන් පිරි මානව ක්‍රියාකාරීත්වයන් අභිබවා යන හින්දු ධර්මයේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික අගයන් නඟාසිටුවන මංගල්‍යයකි.


දීපාවලී දිනය දයාවේ නියම අර්ථයෙන් සහ ශ්‍රද්ධාවෙන් පිරී පවතින අතර එය හින්දු බැතිමතුන්ට ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මිකතාවක් ළඟාකර ගැනීමට උත්සහ කිරීම සඳහා ද හින්දු ධර්මයේ සියලු ම අධ්‍යාත්මික සාරධර්මයන්ට පටහැනි ලෙස දශක තුනක දීර්ඝ කාලීන ද්වේෂසහගත හා ප්‍රචණ්ඩ අර්බුදයක් අවසාන වී ඇති මෙම අවස්ථාවේ සංහිඳියාවක් ඇති කර ගැනීම තුළින් ප්‍රජාවන් අතරේ අවබෝධය ඇති කිරීමටත්, එකමුතු බව වර්ධනයටත් මහඟු අවස්ථාවක් වනු ඇත.


මෙම දීපාවලී සැමරුමේදී හින්දු ධර්මයෙහි ඉගැන්වීම් අනුගමනය කරනු ලබන සියල්ලන් අතරෙහි අවබෝධය සාමය සහ සතුට ඇති වේවායි පතමි.


සියලු හින්දු භක්තිකයින්ට සතුට හා සාමයෙන් පිරි දීපාවලී මංගල්‍යයක් පතමි.


මහින්ද රාජපක්ෂ

ජනාධිපති



Post a Comment