බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ වර්ජනයට තවත් වෘත්තීය සමිති 11ක් එකතුවෙයි



කොළඹ වරායේ ප්‍රවාහන කටයුතුවල නිරතවන කන්ටේනර් රථ රියදුරන් සහ සහායකයින් විසින් ආරම්භ කළ වර්ජනයට අද දිනයේ (17) තවත් වෘත්තීය සමිති 11ක සහය ලැබුණු බව එක්සත් ලංකා බහාලුම් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි මහතා පවසයි.

වරායේ ප්‍රවාහන කටයුතු සඳහා දැනට යොදවා ඇති කන්ටේනර් රථ වලට අමතරව පවත් කන්ටේනර් රථ යෙදවීමට බලධාරීන් ගෙන ඇති තීරණය‍ට එරෙහිව ඊයේ පෙ.ව 11.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව පැවැත්වෙන බව හෙතෙම කියා සිටියි.


ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවත්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග පුළුල් කිරීමට සිදුවුවහොත් එමගින් වරායටත් රජයටත් සිදුවිය හැකි පාඩුව දැඩිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.


මේවන විට බහාලුම් ප්‍රවාහන කටයුතු සඳහා කන්ටේනර් රථ 12,000 ක් පමණ පවත්නා නමුත් දිනකට ප්‍රවාහන කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව ඇත්තේ කන්ටේනර් රථ 2000 ට පමණ බවත්,එසේ තිබියදී යහපාලන රජයේ බලධාරීන් විසින් රේගු බද්දෙන් නිදහස් කරනු ලැබූ කන්ටේනර් රථ 1500 ක් පමණ යෙදවීමට කටයුතු කරන බවත් කළුතන්ත්‍රි මහතා පෙන්වාදුන්නේය.


මේවන විටත් එකී කන්ටේනර් රථ 1500 න් 250 ට පමණ ප්‍රවාහන බලපත්‍ර ලබාදී ඇති බවත්,ඉදිරියේදී ඉතිරි ඒවාටත් බලපත්‍ර ලබාදෙනු ඇති බවත් වහාම මැදිහත්ව මෙම ගැටළුව නිරාකරණය කළ යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.


තමන් අරගල කරනු ලබන්නේ තම වාහන රේගු බද්දෙන් නිදහස් කරන්නට කියා හෝ වෙනයම් අයිතිවාසිකම් ඉල්ලා නොව චිරාත් කාලයක සිට ඉකුත් සතිය වන තෙක් පාඩුවේ සිදුකරගෙන පැමිණි කර්මාන්තය තවදුරටත් කරගෙනයාමට ඉඩප්‍රස්ථාව ලබාගනු පිණිස පමණක් වන බවත් ඔහු සිහිපත් කළේය.


ආයෝජන මණ්ඩලයේ ප්‍රතිපාදන යටතේ මහා පරිමාණ ආයෝජකයින් රේගු බද්දෙන් නිදහස් කළ කන්ටේනර් රථ යොදවනු ලැබීමෙන් අමතර කොටස් සඳහා යන වියදම්වල පවා අසාධාරණ විෂමතාවක් පවත්නා බව කළුතන්ත්‍රි මහතා පෙන්වා දුන්නේය.


රේගු බදුවලින් නිදහස් කන්ටේනරයක ටයරයක් රු.12,000 ට පමණ ඒ උදවියට ගැනීමට හැකියාව පවතිද්දී තමන් භාවිතා කරන කන්ටේනරයක ටයරයකට රු.54,000-60,000ක් පමණ වැයකළ යුතුව ඇති බවත්, ඒ උදවිය ලබා ගන්නා රු.2,000 ක් වටිනා අමතර කොටසක් තමන් ලබාගන්නේ නම් රු.10,000 ක් පමණ වැය කළ යුතුව ඇති බවත්ඔහු කියා සිටියේය.


ඒ නිසාම මෙවැනි කන්ටේනර් රථ වඩ වඩා යෙදවීමෙන් තමන්ගේ ජීවනෝපායට දැවැන්ත තර්ජනයක් එල්ලවන බවත්, බොහෝ කාලයක් තිස්සේ කරගෙන හා රැකියාව අහිමිවන තත්ත්වයක් උද්ගත වන බවත්,තමන්ගේ දරුමල්ලන්ට කුසගින්නේ සිටින්නට සිදුවනු ඇති බවත් කළුතන්ත්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment