ආණ්ඩුව දුවන්නේ ණය උඩ

ආණ්ඩුව දුවන්නේ ණය උඩ


වත්මන් ආණ්ඩුව වැඩිපුරම යැපෙන්නේ ණය මත පදනම් විමෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.




ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කලා.


ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක අදහස් දක්වමින්...


ආණ්ඩුව බස් ගාස්තු සහ කිරිපිටි මිල වැඩිකරලා තිබෙනවා. ඒ වගේම ජනතාවට ඉතාමත් අහිතකර මට්ටමේ බදු රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගැසට් කිහිපයක් මගින් සම්මත කරගත්තා. මේ හරහා ජනතාවට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යාමට වගඋත්තරකරුවෝ ජනතාවද?


බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ප‍්‍රතිපත්තියක් තිබෙනවා. ටයර්වල මිල, අමතර කොටස්වල මිල, බස්රථවල මිල, ලීසිං වාරික, ඉන්ධන ගාස්තු ආදිය පදනම් කරගෙන තමයි බස් ගාස්තු සංශෝධන ප‍්‍රතිපත්තියක් හදලා තිබෙන්නේ. පසුගිය පළවැනිදා බස් ගාස්තු වැඩිකිරීමට හේතුව ඉහත කී දේවල්වල ගාස්තු වැඩිවීමයි. ඒ සඳහා ජනතාව වගකිව යුතු නැහැ. ටයර් මිල, අමතර කොටස් මිල, බස්රථවල මිල ගණන් ඉහළ යාම සිදුවුණේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, හා එකඟතාවයට අනුව රුපියල අවප‍්‍රමාණය කිරීමයි. ඒ මගින් ඩොලරයට සාපේක්‍ෂව රුපියල පාවෙන තත්වයට පත්වුණා. ලංකා ඉතිහාසයේදී ඩොලරයට රුපියල් 132ක් වැනි විශාල මුදලක් ගෙවීමට සිදුවුණා. ඒ හරහා ආනයනය කරන ලද භාණ්ඩ මිල ගණන් ඉහළ ගියා. ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තීරණ අනුව තමයි ඒ දේවල් සිදුවුණේ. ඒ නිසා එයට ජනතාව වගකිවයුතු නැහැ. ආණ්ඩුවේ අමනෝඥ කි‍්‍රයා තමයි මේ පිටුපස තිබෙන්නේ.


ඒ වගේම තමයි ලංකාවට ගෙන්වන කිරිපිටි හා ඒ ආශි‍්‍රත නිෂ්පාදනවල මිල ඉහළ ගියා. එයට බලපෑවේද ඩොලරයට සාපේක්‍ෂව රුපියල අවප‍්‍රමාණය වීමයි. ඩොලරයේ රුපියල් අගය රු.112 සිට රු.132 දක්වා වැඩිවුණා. ඒ මගින් ආනයනය කරන කිරිපිටි මිල ඉහළ ගියා. මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට අනුකූල නොවන විදියට ආර්ථිකය ගෙනයන්න ආණ්ඩුවට බැරි ඇයි? එයට හේතුව මේ ආණ්ඩුවට ණය නැතිව කිසිම දෙයක් කරන්න බැරිවීමයි.


2012 වර්ෂයේ ආණ්ඩුව බදු සහ දඩ මගින් උපයා ගත් ආදායම රුපියල් බිලියන 987යි. එම වර්ෂයේ ණය පොළී වාරික ගෙවීම සඳහා රුපියල් බිලියන 1017ක් වැය කළා. රජය උපයන මුලූ ආදායම ණය ගෙවීමටවත් ප‍්‍රමාණවත් නැහැ. ණය ගෙවීමටත් ණය ගන්නවා. අනෙකුත් සියලූ වියදම් සඳහා ආණ්ඩුව ණය ගන්නවා. ණය ගෙවන්න පමණක් රුපියල් බිලියන 30ක් ණය ලබාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව දිනපතා යැපෙන්නේ ණය මතයි.


පසුගියදා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනතට අනුව 2014 වර්ෂයේ වියදම රුපියල් බිලියන 1542ක් වෙනවා. 2014ට ආණ්ඩුව ලබාගැනීමට තීරණය කර තිබෙන ණය මුදල රුපියල් බිලියන 1200ක් පමණ වෙනවා. ආණ්ඩුව ලබන මුලූ ආදායම ණය පොළී වාරික ගෙවන්න වෙන් කරන්න සිදුවෙලා. ණය ගන්නේ නැතිව ජනාධිපති මැදුරේ ලයිට් බිලවත් ගෙවාගන්න විදියක් නැහැ. ජනාධිපතිවරයා පාවිච්චි කරන වාහනවලට තෙල් ගහන්න විදියක් නැහැ. ඇමතිවරුන්ගේ ගෙවල් කුළී ගෙවාගන්න විදියක් නැහැ. නමුත් ආණ්ඩුව පම්පෝරි ගහනවා ණය ගන්නේ රටේ සංවර්ධනයට කියලා. නමුත් ආණ්ඩුව කන්න බොන්නත් වියදම් කරන්නේත් ණයට ගන්න මුදල්. ණය නැතිව මේ ආණ්ඩුවට දුවන්න බැහැ. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දානවා. රුපියල පා කරන්න කියනවා. අයවැයේ හිඟය අඩුකරන්න කියනවා. රාජ්‍ය වියදම් කපන්න කියනවා. ණයවලින් තොරව ජීවිතය ගෙවාගන්න මේ ආණ්ඩුවට බැහැ.


2012 රුපියල් බිලියන 1017ක් ණය ගෙවා තිබෙනවා. එම මුදලින් කටුනායක අධිවේගී මාර්ගය වැනි අධිවේගී මාර්ග 20ක්, මත්තල වැනි ගුවන් තොටුපලවල් 30ක්, හම්බන්තොට වැනි වරායවල් 20ක්, දක්‍ෂින අධිවේගී මාර්ගය වැනි මාර්ග 14ක් හදන්න තිබුණා. එවැනි මුදල් කන්දරාවක් මේ ආණ්ඩුව පසුගිය වසරේ පමණක් ණය වශයෙන් ගෙවලා තිබෙනවා. ආණ්ඩුවේ ප‍්‍රධාන වියදම ණය පොළී වාරික ගෙවීමයි. උපයා ගන්නා මුලූ ආදායමත් ලබාගන්නා ණයවලින් 50%කුත් ඒ සඳහා වෙන්කරනවා.


2014 සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනතට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයට රුපියල් 254ක්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 106ක්, වරාය හා අධීවේගී මාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලයන 145ක්, මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 164ක්, නීතිය හා සාමය අමාත්‍යාංශයට රුපියල් බිලියන 52ක්, ජනාධිපති කාර්යාලයට රුබියල් 8.3ක්, වෙන්කරගෙන තිබෙනවා. ආණ්ඩුවේ වියදමෙන් විශාල මුදල් කන්දරාවක් ජනාධිපතිවරයා හා පවුල බදාගෙන ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 318කුත්, පළාත් පාලන හා පළාත් සභාවල කටයුතු සඳහා රුපියල් බිලියන 149කුත් හැරෙන්නට අනෙකුත් වියදම්වලින් වැඩි ප‍්‍රමාණයක් වෙන්කර තිබෙන්නේ ජනාධිපතිවරයා හා සිය පවුලටයි.


එනිසා අප කියන්නේ මෙවර අයවැය සකස් විය යුත්තේ ජනතාවගේ අපේක්‍ෂාවන්ට අනුවයි. වැඩකරන ජනතාව ඉල්ලීම් 21ක් ඉදිරිපත්කර තිබෙනවා. රාජ්‍ය අංශයේ වැටුප් රුපියල් 10,000කින් ඉහළ දැමීම, වතු සේවකයින් ඇතුලූ පෞද්ගලිග අංශයේ සේවකයින්ට රුපියල් 5,000ක අයවැය දීමනාවක් ලබාදීම, ජීවන අංකයක වටිනාකම රුපියල් 280 ලෙස ගැසට් කිරීම, වැනි දේ එම ඉල්ලීම් අතර වෙනවා. ඒ වගේම අපේ රටේ ගොවි ව්‍යාපාරය ඉල්ලීම් 06ක් ඉදිරිපත්කර තිබෙනවා. වී කිලෝවක සහතික මිල රුපියල් 40ක් කිරීමත්, පොහොර සඳහා අනිවාර්ය කර ඇති රුපියල් 150 රක්‍ෂණ ගාස්තුව අහෝසි කිරීම වැනි ඉල්ලීම් ඔවුන් ඉදිරිපත්කර තිබෙනවා. එමෙන්ම ධීවර ජනතාව, තරුණ, ශිෂ්‍ය, ව්‍යාපාර අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් අයවැයෙන් සහන ඉල්ලා තිබෙනවා. එනිසා අපි ආණ්ඩුවට කියා තිබෙන්නේ අයවැය සකස් විය යුත්තේ ඔවුන්ගේ යෝජනාවලට අනුව කියලයි.


මේ ආණ්ඩුව ගෙනයන සන්දර්ශන, සැණකෙළි ආර්ථීකය වහාම නැවැත්විය යුතුයි. එම සැණකෙළි ආර්ථිකය වෙනුවට ජනතාවගේ ජීවිත පවතින තත්වයෙන් පියවරක් හෝ ඉදිරියට ගත හැකි ඔවුන්ගේ අපේක්‍ෂා ඉටුකරන අයවැය ලේඛණයක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නැතිනම් අයවැය ඉදිරිපත් කළ මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණත් වෘත්තීය සමිති ව්‍යාපාරයත් ගොවි, ධීවර, තරුණ, ශිෂ්‍ය, සියලූ බලවේගයන් එක් කරගෙන දැවැන්ත උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග සඳහා යොමු වෙනවා. අයවැය ජනාධිපතිවරයාගේත්, ඔහුගේ පවුලේත් වුවමනාවන් තරකර ගැනීමට ගෙනෙන එකක් නෙවෙයි. එය ජනතාවට සහන ලැබෙන ලියවිල්ලක් විය යුතුයි.


ඒ වගේම 2012 වර්ෂයේදී සමහර අමාත්‍යාංශවලට අයවැයෙන් වෙන්කරන ලද මුදල්වලින් 50%ක්වත් නොගෙවපු අවස්ථා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයාගේ හා පවුලේ අයගේ අමාත්‍යාංශවලට අයවැයෙන් වෙන්කළ මුදලටත් එහා ගිය මුදල් ප‍්‍රමාණයක් ලබාදෙනවා. පරිපූරක ඇස්තමේන්තුවලින් ලබාගන්නවා. රටේ මුදල්වල බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවටයි. එම නීත්‍යානුකූල බලය ඉක්මවා ගිහින් අයවැයෙන් වෙන්කළ මුදල් ලබා නොදෙන තත්වයකට පත්වෙලා තිබෙනවා. එනිසා 2012 වෙන්කරන ලද මුදල් එකී අමාත්‍යාංශවලට ලබාදෙනවාද, නොදෙන්නේ නම් ඊට හේතුව වහාම රටට පැහැදිළි කළ යුතුයි. ජනාධිපතිවරයාට හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මුදල් පිළිබඳ කිසිදු බලයක් නැහැ. එනිසා පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය මත අයවැයෙන් වෙන්කළ සියලූ මුදල් අදාල අමාත්‍යාංශවලට වහාම ලබාදිය යුතුයි.


මේ ආකාරයෙන් අමාත්‍යාංශවලට මුදල් නොලැබීම නිසා ආමාත්‍යාංශවල විදුලිය කප්පාදු කරන තත්වයට පත්වෙලා. බන්ධනාගාරවල ලයිට් කපනවා. පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 40 ගෙවාගන්න බැරිවෙලා තිබෙනවා. පාසැල්වලට දිවා ආහාරය සපයන සුලූ ව්‍යාපාරිකයින්ට මාස 06කින් මුදල් ගෙවා නැහැ. ආණ්ඩුව කරන මහා පරිමාණ ඉදිකිරීම්වලට මුදල් ගෙවාගන්න බැරිවෙලා තිබෙනවා. මෙම පාලනය මුළුමනින්ම රාජ්‍ය යාන්ත‍්‍රණය කඩා වට්ටලා තිබෙනවා. මෙම සැණකෙළි ආර්ථිකය රටත් ජනතාවත් අතුරු ආන්තරා තත්වයකට පත්කොට තිබෙනවා.



Post a Comment