ඊයේ මැරුණා නම්
මගේ කඨිනේ වැඩ
ඔක්‌කොම අවුල්
වෙනවා කියල...
කොළඹ ජාතික රෝහලේ 30 වැනි වාට්‌ටුවේ රාජකාරී කළ ආදේශක කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහායකවරියක (රෝහල් උපස්‌ථායිකාවක) වන දීපිකා ප්‍රියදර්ශනී නැමැති තරුණිය ඩෙංගු රෝගයෙන් පීඩා විඳිද්දී නිවාඩු අනුමත නොකර රාත්‍රී වැඩවලට යෙදවීම නිසා මිය ගොස් තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.
ඇය මිය යැම සම්බන්ධව රෝහල් සේවකයන් අතර මතුව තිබූ දැඩි නොසන්සුන්තාවය ගැන සොයා බැලීමට පෙරේදා (29 වැනිදා) දහවල් අප රෝහලේ 30 වැනි වාට්‌ටුවට ගිය මොහොතේ ඉතා ආවේගශීලීව එහි සේවකයන් මෙසේ පැවසුවා.
''දීපිකා නිවාඩු ඉල්ලා තිබෙනවා. නමුත් නිවාඩු අනුමත නොකර දීපිකා රාත්‍රී වැඩවලට යොදවලා තිබෙන්නේ ඇය ඩෙංගු රෝගයෙන් පීඩා
විඳිමින් සිටියදීයි. ඇයට බොහොම අකාරුණික විදියටයි සලකළා තිබෙන්නේ'' යෑයි කොළඹ ජාතික රෝහලේ තිහේ වාට්‌ටුවේ කනිෂ්ඨ කාර්ය සහායකයන් පිරිසක් ''අප වෙත පැවසුවා.
මීට අමතරව ඇය ඩෙංගු උණ රෝගය නිසා නේවාසිකව ප්‍රතිකාර ලැබූ 56 වැනි වාට්‌ටුවෙන් ඇයට ප්‍රතිකාර හරිහැටි නොකළ බවත් රෝහල් සේවකයන් චෝදනා කළා.
මෙලෙස මිය ගොස් තිබුණේ මැදිරිගිරිය බිසෝ බණ්‌ඩාර ප්‍රදේශයේ පදිංචිව සිටි දීපිකා ප්‍රියදර්ශනී කරල්ලියද්ද නමැති 28 හැවිරිදි අවිවාහක තරුණියකි.
අප එම 30 වැනි වාට්‌ටුව ඉදිරිපිට සැරිසරන විට ''පොඩි උන්ට අයි. සී. යූ. නැත. ලොකු උන්ට මිස් ''මැරුණ එකා මැරුණා 30 මෙහෙම කියයි'' කඨිනෙ දවසෙ නැතුව මෙයා අද මැරුණ එක හොඳයි 30 කියයි'' ''මෙහෙම උන්ද කඨිනෙ කෙරුවේ'' යනාදී පුවරු ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අපට දැකගත හැකි විය.
මෙහිදී අදහස් දැක්‌වූ එම රෝහලේ කනිෂ්ඨ කාර්ය සහායකයන් මෙසේද පැවසුවා.
''දීපිකා කියන්නේ තිහේ වාට්‌ටුවේ හොඳ වැඩ කරපු අපේ සහෝදරියක්. එයාට ඩෙංගු හැදිලා තියෙද්දිත් රෝහලේ රාත්‍රි වැඩත් කළා. දීපිකා වාට්‌ටුවේ සිස්‌ටර්ගෙන් නිවාඩු ඉල්ලලත් තිබෙනවා. නමුත් එය දෙන්න සිස්‌ටර් කැමැති වෙලා නැහැ.
දීපිකාට අමාරු වුණාට පසු එයාව පනස් හයේ වාට්‌ටුවට ඇතුළත් කර තිබෙනවා. දීපිකා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන කොටත් එයාව අයි. සී. යූ. එකට දැම්මේ නැත්තේ අපි පොඩි සේවකයින් හින්නද.....? මේ වගේ වෙලාවට තමයි මනුෂ්‍යකම අවශ්‍ය.
නමුත් පනස් හයේ වාට්‌ටුවේ බලධාරීන් ඒ ගැන සැලකිලිමත් වුණේ නැහැ. දීපිකා ගැන හොඳට බැලුවා නම් තවමත් ඇය ජීවතුන් අතර. අප මේ සම්බන්ධයෙන් රෝහල් ලේකම් හරහා අධ්‍යක්‍ෂතුමා දැනුවත් කරලයි තිබෙන්නේ.'
''අපේ සොයුරිය ගැන සැලකිල්ලෙන් බැලුවා නම් ඇයට මේ වගේ විපතක් වෙන්නේ නැහැ. රෝහල් සේවකයන්ට මේ වගේ අය මෙහෙම නම් සාමාන්‍ය රෝගියාට මේ අය කොහොම සලකයිද?
''තිහේ වාට්‌ටුවේ සිස්‌ටර් කියලා තිබෙනවා අපේ සහෝදරිය හොඳ වෙලාවට අද මැරුණේ කියලා. ඊයේ මැරුණා නම් මගේ කඨිනේ වැඩ ඔක්‌කොම අවුල් වෙනවා කියල.
මේ වගේ මිනිස්‌සුද රෝහල්වල සේවයට යොදවන්නේ. කිසිම හිතක් පපුවක් නැති මනුෂ්‍යයෝ. අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ දිට්‌ඨ ධම්මවේදනීය කර්මය කියලා දෙයක්. ඒවා ඒ ඒ අය අරන් යාවි.''
අප ඉන්පසු රෝහලේ පනස් හයේ වාට්‌ටුවට රෝහල් සේවකයන් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් දැනගැනුමට එම වාට්‌ටුවට ගිය අවස්‌ථාවේ එහි වෛද්‍යවරුන් මේ පිළිබඳව ඉහළ අවසරයක් නොමැතිව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවසූහ.
පසුව අප මේ ගැන අවසන් වශයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසූ විට මෙසේ පැවසුවා. ''මට මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් තාම ලැබිලා නැහැ. මා මේ ගැන සොයා බලන්නම්.''

Post a Comment