කාන්තාවන් විදේශ ගත වීම පහලට

කාන්තාවන් විදේශ ගත වීම පහලට


පසුගිය මාස 9 තුල කාන්තාවන් විදේශ ගත විම 12% න් පහළ වැටී, පිරිමි ශ‍්‍රමිකයින් විදේශ ගතවීම 18% කින් වර්ධනය වී ඇති බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.




අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (29) ලක්‍ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ උපාධිධාරීන් සඳහා වූ විදේශගත ශ‍්‍රමිකයින්ගේ මෙහෙයුම් නියාමනය පාඨමාලාවේ සහතික ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.


එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වාර්ශිකව ලංකාවෙන් 250,000 ට වැඩි ප‍්‍රමාණයක් විදේශ රැකියා සඳහා පිටත් වන බවත් ඉන් වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කලේ ගෘහ සේවිකාවන් වුවත් මේ වන විට ගෘහ සේවිකාවන් අඩුවී පිරිමි ශ‍්‍රමිකයින් වැඩියෙන් විදේශ ගත වීමත් පෙන්නුම් කරන බවයි.


වර්තමාන ලෝකයේ සමස්ථ ජනගහනයෙන් මිලියන 215ට ආසන්න පිරිසක් විදේශ ශ‍්‍රමිකයින් බවත් ඉන් මිලියන 1.6 ක් ශ‍්‍රී ලාංකික රටවිරුවන් බවත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. විදේශ ශ‍්‍රමිකයින් යොමු කරවන රටවල් සියල්ලේම ආදායම වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 450 ක් වන අතර ලංකාවේ රටවිරුවන් උපයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 6.1 පමණ වන බවද මේ නිසා ලෝක ආර්ථිකයේ විශේෂ වැදගත්කමක් විදේශ ගත ශ‍්‍රමිකයින්ට හිමිවන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් පසුගිය වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 6.1 ක් ලැබුනු බවත් මේ වසරේ ඉලක්ක ගත ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 7 ක් බවයි. ඇඟළුම් අපනයනයෙන් වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 4ට ආසන්න මුදලක් ලැබෙන අතර සංචාරක කර්මාන්තයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ලැබේ. ඒ අනුව පෙනී යන්නේ අනෙකුත් විදේශ විනිමය ලැබීම් අභිබවා විදේශ ගත ශ‍්‍රමිකයින්ට ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බවයි.


විදේශ ගත විමේ සමස්ථ ප‍්‍රවණතාව වර්ධනය වෙමින් තිබෙන බවත් ගෘහ සේවිකාවන් විදේශ ගත විම අවම කිරීමට පසුගිය කාලයේදි කි‍්‍රයාවට නැංවූ සැලසුම්ද සාර්ථක වී ඇති බවත් අමාතක්‍යවරයා පවසා සිටියා. ගෘහ සේවිකාවන් වෙනුවට ගෘහ පාලිකාවන් හා අනෙකුත් වෘත්තිය රැකියා සඳහා කාන්තාවන් ඇතුළු ශ‍්‍රමිකයින් යොමු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ ඇති කර ගත් ගිවිසුම් , ජාතික නිපුනතා සහතික 3 වන මට්ටම අනිවාර්ය කිරීම, පවුල් පසුබිම් වාර්ථාව අනිවාර්ය කිරීම, හා ගෘහ පාලිකාවන් සඳහා අවම වයස් මට්ටමක් නියම කිරීම ප‍්‍රධාන වන බව ද අමාත්‍යවරයා පවසා සිටියා. මේ සඳහා දිවයින පුරා පිහිටි රටවිරු සංවිධාන මඟින් කාන්තාවන් දැනුවත් කිරීමද මීට හේතු වු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.



Post a Comment