ලක්විජය විදුලි බලාගාරයේ දෙවන අදියරයට සුදානම්!

ලක්විජය විදුලි බලාගාරයේ දෙවන අදියරයට සුදානම්!


නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන අදියර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (28) නිලධාරින්ට උපදෙස් ලබාදි තිබේ.




නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව අමාත්‍යවරිය මෙසේ නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ . නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවන අදියරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට මුළුමණින්ම පාහේ අවසන්ව තිබේ.


නිරීක්ෂණ සංචාරයේදී අමාත්‍යවරිය නිලධාරීන් හමුවේ ප්‍රකාශ ක‍ළේ,ව්‍යාපෘතියේ දෙවන අදියරේ මෙගා වොට් 300 ක ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.මේ වන විට ලක්විජය ගල් අඟුරු විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙගා වොට්300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත.මේ අනුව දෙවන සහ තුන්වන අදියර සමඟ නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයෙන් මෙගා වොට් 900ක සමස්ත ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරෙනු ඇත.නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ සමස්ත ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමත් සමඟ අනාගතයේදී රටතුල ඇතිවන විදුලිය ඉල්ලුමට සාර්ථකව මුහුණ දිය හැකිය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අරමුණ වන්නේ අඩු මුදලට විදුලිය නිපදවිය හැකි විදුලි බලාගාර තැනිම බවත් ,එමෙන්ම 2014 වසර ඇතුළත, ලංකාවේ සියලුම නිවාස සඳහා විදුලිය ලබාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවද අමාත්‍යවරිය මෙහිදි කියා සිටියා. ඊට අදාළ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මැදිහත්වීම මත මේ වන විට සිදුවෙමින් පවතින බව ඇය මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.



Post a Comment