මුස්ලිම් ජනයා උතුරේ පදිංචිය ඉල්ලයි

මුස්ලිම් ජනයා උතුරේ පදිංචිය ඉල්ලයි


උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව නිශ්චිත කාල රාමුවකට අනුව යළි පදිංචි කිරීමට වහා පියවර ගත යුතු යැයි ‘මුස්ලිම් සහෝදරත්වය’ සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.




අද(29) කොළඹදී පැවැති ‘මුස්ලිම් සහෝදරත්වයේ’ ප‍්‍රථම මාධ්‍ය හමුවේදී මොහොමඞ් මුසම්මිල් මහතා අවධාරනය කලේ මුස්ලිම් ජනතාවට නැවත තම ගම්බිම්වලට එන ලෙස ආරාධනා කිරිම ප්‍රමාණවත් නැති බවයි.


එහිදී අදහස් දැක්වූ මුසම්මිල් මහතා


‘‘බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය විසින් උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර 2013 ඔක්තෝබර් 30 වැනිදාට වසර 23ක් පිරෙනවා. එසේ පලවා හරින ලද පවුල් සංඛ්‍යාව 63,000ක් පමණ වෙනවා. එම පවුල් වසර 23ක් තිස්සේ අනේකවිද දුක් පීඩා වින්දා. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මිනීමරු ත‍්‍රස්තවාදය විසින් මුස්ලිම් ජනතාව පමණක් නොවෙයි, සිංහල ජනතාවද එසේ උතුරෙන් පලවා හරිනු ලැබුවා.


උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවට නැවත තම ගම්බිම්වලට එන ලෙස ආරාධනා කරනු ලැබුවා. එසේ ආරාධනා කිරීම ප‍්‍රමාණවත් නැහැ. සිදු විය යුත්තේ උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් හා සිංහල ජනතාව නිශ්චිත කාල රාමුවක් තුළ යළි පදිංචි කිරීමයි.


උතුරෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ඉතාමත් නින්දිත ලෙස පලවා හැරීමට ප‍්‍රභාකරන් කටයුතු කළා. මේ තුච්ඡු සිදුවීම ලංකාවේ වෙනත් කිසිඳු පළාතක සිදු වූයේ නැහැ. එසේ කටයුතු කළ ප‍්‍රභාකරන් නැමැති ත‍්‍රස්තවාදයා ‘වීර මොනරවිල කැප්පෙටිපොළ’ නිලමේතුමන්ට සමාන කරන්න විග්නේෂ්වරන් මහතා උත්සහ කරනවා. වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් සටන් වැදුනේ අධිරාජ්‍යවාදී සුද්දන් මෙරටින් පලවා හරින්න. නමුත් ප‍්‍රභාකරන් විසින් උතුරෙන් පලවා හරිනු ලැබුවේ තමන්ගේ රටේ අහිංසක ජනතාව.


මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාව උතුරු හා නැෙ`ගනහිර ඒකාබද්ධ කිරීම නොවෙයි. ඔවුන්ට අවශ්‍ය මේ රටේ සියලූ ජන කොටස් සම`ග සමගියෙන් ජීවත් වීමටයි. ඒ තුළින් ජාතික සමගිය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. අපට ඉතිහාසය අමතක නැහැ. දහස් ගණන් මුස්ලිම් ජනතාව නැගෙනහිරදී මරා දැමුණු ආකාරය අපට අමතක නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ගන්නා උත්සාහය තුළ ඇත්තේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී උවමනාව පමණයි. එමගින් මුස්ලිම් ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ උවමනාව අනුව හැසිරෙන්න අපට කිසි ලෙසකින්වත් අවශ්‍ය නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගියත්, මුස්ලිම් ජනතාවගේ අයිතීනුත් සුරැකීම පිණිස අද දින ආරම්භ කළ මේ ‘මුස්ලිම් සහෝදරත්වයේ’ පළමු උද්ඝෝෂණය ඔක්තෝබර් 31 වැනිදා සවස 3.00ට කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්වීමට නියමිත බවද මෙහිදී මතක් කළ සිටිය යුතුයි’’


මෙහිදී අදහස් දැක්වූ එම්. එෆ්. එම්. ෆාරුඞ් මවුලවිතුමා,2013-10-29 Muslim Sahodarathwaya 01


‘‘මේ රට බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සියලූ ජාතීන් සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන්, සහජීවනයෙන් ජීවත් වන රටක්. මේ රටේ නිදහස ලබාගැනීම සඳහා මේ සියලූම ජාතීන් ඇපකැප වෙලා ක‍්‍රියා කෙරුවා. ඒ නිසා තමයි මේ නිදහස ලබාගැනීමට හැකියාවක් ලැබුණේ. මින් පස්සේ මගේ රට, ශ‍්‍රී ලංකාවට ආපහු නිදහස ලබාගැනීමක් කියලා එකක් නැහැ. ලැබුවාවූ නිදහස ආරක්‍ෂා කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඒ අතරතුරදී තමයි අපිට සිද්ධ වුණේ වසර තිහක යුද්ධයකට මුහුණපාන්න. එහිදී උතුරේ මුස්ලිම් ජනතාවට උතුරෙන් පැය ගණනකදී පිටවෙන්න සිදු වුණා. දැන් මේ මගේ රට, ශ‍්‍රී ලංකාවට ඒ යුද්ධයෙන් ජයග‍්‍රහණය අරගෙන සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ලැබීලා තිබෙනවා. මේ අතරතුරදී තමයි උතුරේ පළාත් සභා ඡුන්දය තියන්නට අපිට හැකියාවක් ලැබුණේ. එහිදී දෙමළ ජාතික සන්ධානය ජයග‍්‍රහණය ලැබුවා. ඔවුන් පවසා තිබෙනවා. ඒ තියෙන ඉඩකඩම් කවුරු කවුරුන් එහි හිටියද සිංහල වුණත් බෞද්ධ හෝ ක‍්‍රිස්තියානි හෝ හින්දු හෝ මුස්ලිම් හෝ එහි හිටපු ජාතීන්ට ඒ ඒ ඉඩම් ලබාදෙන බව. ඔවුන්ටත් එසේ පවසන්නට පුළුවන්. රටේ නායකතුමාගේ කැපවීමත් අධිෂ්ඨානයත් ඒ ඒ ඉඩම් ඒ ඒ ජාතීන්ට ලබාදීම.


ඒ අනුව අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුරේ තියෙන මුස්ලිම් අයට අයත් ඉඩකඩම් නැවත ලබාදීම. බෞද්ධ, ක‍්‍රිස්තියානි අයට අයත් ඉඩම් ඔවුන්ට ලබාදීම. හින්දු දෙමළ අයට අයිති ඉඩම් ඔවුන්ට ලබාදීම. එහෙම ඔවුන්ට ලබාදුන්නා නම් මේ මගේ රට ශ‍්‍රී ලංකාව තුළ කිසිම බේදයකින් තොරව අපිට නිදහසේ සාමයෙන් සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකියාවක් ලැබෙනවා. යුද ජයග‍්‍රහණය ලබාගැනීම සඳහා බෞද්ධ සහෝදරයන්, ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සහෝදරයන් කැපවුණා. ඔවුන්ගේ ජීවිත පුදකෙරුවා. මගේ සහෝදරයාත් හමුදාවේ ඉඳලා මේ යුද්ධය වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කෙරුවා. එහිදී පන්සල්වලට, පල්ලිවලට, කෝවිල්වලට, දේවස්ථානවලට නොයකුත් හානි සිදු වුණා. ඒ වගේම අහිංසක බෞද්ධ ජනතාව, ක‍්‍රිස්තියානු, මුස්ලිම් ජනතාව මරණයට පත් වුණා. මේ වගේ නොයෙකුත් කැපවීම් කරලා තමයි ඒ ජයග‍්‍රහණය ලබාගත්තේ. ඒ නිසා මට කියන්නට අවශ්‍යව තියෙන්නේ, රජයේ මැදිහත්වීමත්, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමත් තුළ ඒ වගේම උතුරේ පළාත් සභාව ජයග‍්‍රහණය කරගෙන සිටින එම සංවිධානයත් ඒ පක්‍ෂයත් සෑම දෙනා මැදිහත් වෙලා ක‍්‍රියාකරලා කිසිම ප‍්‍රශ්නයකින් තොරව එහි ජීවත් වුණු ඒ ජාතීන් සියලූ දෙනාටම අවශ්‍ය ඉඩකඩම් ඒ අනුව ලබාදෙනවා නම් අපිට නැවත ප‍්‍රශ්නයකට හෝ කිසිම යුද්ධයකට යාමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකියාවක් ලැබේවි. මුස්ලිම් සහෝදරත්වය බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු ඒ ජනතාව වෙනුවෙනුත් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම අපි අපේ ජාතිය වෙනුවෙනුත් කතා කරනවා. ඒ නිසා හැකි ඉක්මනින් ඒ ජනතාවගේ ඒ ඉඩකඩම් ලබාදුන්නොත් අපිට පුළුවන් වෙනවා මේ රට තවත් දියුණුවක් කරා, සංවර්ධනයක් කරා ගෙන යාමට’’


මෙම මාධ්‍ය හමුවට, වෛද්‍ය ඒ. සී. එම්. සලීම් සහ එන්. එම්. එම්. උමායිර් යන මහත්වරුද සහභාගී වූහ.



Post a Comment