ජාතික සංවර්ධනයට අභ්‍යවකාශ තාක‍්ෂණය

ජාතික සංවර්ධනයට අභ්‍යවකාශ තාක‍්ෂණය


ජාතික සංවර්ධනයට අභ්‍යවකාශ තාක‍්ෂණය යොදාගැනීමට පියවර ගෙන තිබේ.




දුරස්ථ පාලක චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් වගාබිම්වල විශාලත්වය සෙවීම, සාගරයේ හෝ ගොඩබිමෙහි මතුපිට උෂ්ණත්වය සෙවීම, පසෙහි තෙතමනය සෙවීම, මහා මාර්ගයක හෝ පාලමක සිදුවී ඇති මිලිමීටර් හෝ සෙන්ටිමීටර් ගණනක ඉරිතැලීමක් පවා හඳුනාගැනීමට අභ්‍යවකාශ තාක‍්ෂණය යොදා ගැනිමට මේ යටතේ නියමිතයි.


තාක‍්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යවස්ථාපිත ආයතනයක් වන නවීන තාක‍්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය, එක්සත් ජාතීන්ගේ ආර්ථීක සහ සමාජීය කොමිසමේ සහයෝගීතාවයෙන් යුක්තව ජාතික සංවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක‍්ෂණය පිළිබඳ ප්‍රධාන විධායක නිළධාරීන්ගේ සංසඳයක් පිහිටුවාගනු ලැබිණ. ඒ සඳහා වූ පළමු වැඩමුළුව පසුගිය 22 වන දා විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණ.



මෙම සමාරම්භක උළෙලට සහභාගී වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, ගෙවීගිය දශක කිහිපයක කාලසීමාව තුළදී බොහෝ රටවල් අභ්‍යවකාශ තාක‍්ෂණය යොදා ගනිමින් විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ සංවර්ධනයට දායක වූ බවයි. එම ක්ෂේත්‍ර අතර කෘෂිකර්මය, ස්වාභාවික සම්පත් කලමණාකරණය, පාරිසරික සහ දේශගුණික විපර්යාස කළමණාකරණය යනාදී විෂය ක්ෂේත්‍රයන් සුවිශේෂි බවයි. දුරස්ථ පාලක චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් වගාබිම්වල විශාලත්වය සෙවීම, සාගරයේ හෝ ගොඩබිමෙහි මතුපිට උෂ්ණත්වය සෙවීම, පසෙහි තෙතමනය සෙවීම, මහා මාර්ගයක හෝ පාලමක සිදුවී ඇති මිලිමීටර් හෝ සෙන්ටිමීටර් ගණනක ඉරිතැලීමක් පවා හඳුනාගැනීමට අභ්‍යවකාශ තාක‍්ෂණය යොදාගත හැකිය.


වර්තමාන ලෝකයේ රටවල් ගණනාවක්ම අභ්‍යවකාශ තාක‍්ෂණය වැඩි දියුණුකොට සිය සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීම සිදුකර තිඛෙන අතර, එමඟින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. මෙම අභ්‍යවකාශ තාක‍්ෂණයේ උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නම් තාක‍්ෂණය, චන්ද්‍රිකා දත්ත, මෘදුකාංග යනාදිය පිළිබඳ නිපුණතාවයකින් යුක්ත වූ පිරිසක් බිහිකළ යුතුය. මෙයට සම්බන්ධ ආයතනයන්හි ආයතනික ක්‍රමෝපායන් හා වැඩසටහන් සම්පාදනයේදී අභ්‍යවකාශ තාක‍්ෂණය සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ඉතා වැදගත්ය. ආයතනවල විධායක නිළධාරීන් මේ සඳහා ප්‍රමුඛවී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


මෙම සංසඳය අභ්‍යවකාශ තාක‍්ෂණය භාවිතයේ නාභීය ලක‍්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකි අතර ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක‍්ෂණයන් ප්‍රවර්ධනයට මහඟු පිටුවහලක් වන බවත්, ඒ සඳහා තම අමාත්‍යංශය ප්‍රමුඛව ආතර් සී ක්ලාක් ආයතනය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



Post a Comment