නැති ලෙඩ හැදෙන හැටි බන්දුල කියයි

නැති ලෙඩ හැදෙන හැටි බන්දුල කියයි


විදේශ රටවල් ප්‍රතික්ෂේප කරන , නැති ලෙඩ හැදෙන බීම වර්ග ශ්‍රී ලාංකීය දරුවන්ට පුරුදු කරන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය ගැන දැනුම නැති නිසා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.




අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පේමඩුව සිද්ධාර්ථ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.


අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ මේ වන විට උසස් පෙළ සඳහා හඳුන්වා දී තිබෙන තාක්ෂණවේදී විෂය ධාරාවේ එක් කොටසක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය තුළින් ඒ පිළිබඳ ඉගෙන ගැනීමට අවස්ථාවක් සැළසෙන බවයි. කොරියාවේ කෝමාරිකා බීම ජනප්‍රිය නිෂ්පාදනයක් වන අතර ඇබරැල්ලා බීම රෝග රැසක් නැති කරන බවත් චීනය වැනි රටවල මල්වලින් පවා ආහාර හා බීම වර්ග නිෂ්පාදනය කෙරෙන බවත් අමාත්‍යතුමා පෙන්වා දෙයි.


මාධ්‍ය විද්‍යාල සංකල්පය තුළින් ග්‍රාමීය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණු බවත් එදා කන්නන්ගර චින්තනය තුළින් මධ්‍ය විද්‍යාල 54ක් ඉදි කළ අතර මහින්ද චින්තනය තුළින් මධ්‍ය විද්‍යාල 1000ක් ඉදි කිරීම ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාර ගන්නා විට පරිගණක සාක්ෂරතාව 5%ක් වූ අතර මේ වන විට එය 40% දක්වා ඉහළ මට්ටමට ගෙන ඒමට හැකි වී තිබෙන බවත් එය 2016 වසර වන විට 75% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.


රටට ආදරය නැති සුළු පිරිසක් පටු අරමුණු වෙනුවෙන් දරුවන්ට ලැබෙන්න තිබෙන සම්පත් නැති කිරීමට කටයුතු කරන බවත් නගරයේ සුපරි යැයි සම්මත පාසල්වල තිබෙන පහසුකම් ග්‍රාමීය පාසල්වටද ලබාදීම ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි.



Post a Comment