ව්‍යාපෘතියට ආවේ නෑ-විදුහල්පතිවරුන් ගෙදර

ව්‍යාපෘතියට ආවේ නෑ-විදුහල්පතිවරුන් ගෙදර


අධ්‍යාපන පද්ධතියේ අවශ්‍යතාවයකින් බැහැරව පසුගිය 04 සහ 26 වනදා පැවැත් වු ව්‍යාපෘතිය සඳහා සහභාගී නොවු විදුහල්පතිවරුන් තම තනතුරු වලින් ඉවත් කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.




එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබෙන්නේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් බැවින් එම වැඩසටහනට සහභාගී වීම අනිවාර්ය කිරීමත් හා එයට සහභාගී නොවීම නිසා තනතුරුවලින් ඉවත් කිරීම නීති විරෝධි බවයි.


ලංකා ගුරු සංගමයයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ එම නිවේදනය පහත පරිදි වේ.




2013.10.27


ජනාධිපති ලේකම්


ජනාධිපති ලේකම් කාර්යාලය


කොළඹ 01.


ලේකම්තුමනි,


බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරු තනතුරෙන් ඉවත් කරන බව දැන්වීම පිළිබඳව




බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් වන “සුපසන් නිම්තෙර“ වැඩසටහන තුළ පවතින “ගුරු පවුර“ නම් වැඩසටහනක් සඳහා විදුහල්පතිවරු දැනුවත් කිරීමේ රැස්වීමක් 2013.10.04 වෙනි දින කැඳවා තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින සාමාන්‍ය අධ්‍යාපන කි‍්‍රයාවලියට පරිබාහිරව පවතින මෙම “ගුරු පවුර“ නමැති වැඩසටහන පිළිබඳව විදුහල්පතිවරු මඟින් ගුරුවරුන් දැනුවත් කිරීමට සැලසුම් කොට ඉහත රැස්වීම බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් විදුහල්පතිවරු කැඳවා තිබුණි.


මෙම රැස්වීමට සහභාගි වීමට නොහැකි වූ විදුහල්පතිවරු වෙත 2013.10.15 දිනැති CM/WP/P.PR12/Supasan/GP/2013 අංකයෙන් ලිපියක් යවමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ 2013.01.04 දින රැස්වීමට සහභාගි නොවූ විදුහල්පතිවරු 2013.10.26 දින පෙ.ව. 10.00ට පැවැත්වෙන මෙහි දෙවන රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවත්, එසේ සහභාගි නොවන්නේ නම් විදුහල්පති තනතුරෙන් ඉවත් කරන බවත්ය. විදුහල්පති සේවයේ තනතුරුවලට පත් කිරීම් සිදු කරන්නේ රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනි. එසේ සිදු කරන පත්වීමක් ඉවත් කිරීමට පළාත් අධ්‍යාපන ලේකම්වරයාට බලයක් නැත. එසේම අධ්‍යාපන පද්ධතියේ සාමාන්‍ය කි‍්‍රයාවලියට පරිබාහිරව ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියකට සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ ආකාරයට විදුහල්පතිවරුන්ට තර්ජනය කර බියගැන්වීම බරපතළ තත්ත්වයකි.


අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය හා එහි දියුණුව පිළිබඳව කටයුතු කළ යුතු අධ්‍යාපන ලේකම්වරයා ප‍්‍රධාන අමාත්‍යවරයාගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් තම බලය උපයෝගී කර ගැනීම හා අවිධිමත් ලෙස තමාට නොමැති බලයක් ආරෝපණය කරගෙන විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීම පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කොට මෙවැනි කි‍්‍රයාකලාපයන් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවීම වැළැක්වීමට කටයුතු යොදන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.


මෙයට,


ජෝසප් ස්ටාලින්


ප‍්‍රධාන ලේකම්


පිටපත් :- 1. ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.


2. ප‍්‍රධාන ලේකම් - බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශය, ශ‍්‍රාවස්ති මන්දිරය, කොළඹ 07.



Post a Comment