මහ ඇමතිකම අවශ්‍යනම් නම වෙනස් කරන්න!

මහ ඇමතිකම අවශ්‍යනම් නම වෙනස් කරන්න!


බස්නාහිර හෝ දකුණු පළාත් සභාවට ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා ආණ්ඩුවෙන් කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ නාමය වෙනස් කර ගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.




ඊයේ(30)පැවති පුවත් සාකච්ඡාවේදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සදහන් කළේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය දේශපාලනය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැති ශශීන්ද්‍ර රාජපක්‍ෂට ලබා දුන් නමුත් මධ්‍යම පළාතේ වැඩිම මනාප ලබා ගත් අනුරාධ ජයරත්නට මහ ඇමැති ධූරය ලබා නොදුන් ආණ්ඩුව ඒ වෙනුවෙන් විවිධ හේතු ඉදිරිපත් කළ බවයි.


"ආණ්ඩුව තුළ විවිධ ප්‍රශ්න තිබිය දී එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයක් තිබෙන බව හුවාදක්වන ක්‍රමවේදයක් පසුගිය කාලයක් මුළුල්ලේ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වුණා. ආණ්ඩුව කියන තරම් අර්බුදයක් එක්සත් ජාතික පක්‍ෂය තුළ ඇත්තේ නැහැ. නමුත් පළාත් පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව දක්වාම ආණ්ඩුව තුළ අර්බුද ඇති වෙලා.


රටක ආර්ථිකය ශක්තිමත් වීමට නම් ඒ රටට විදේශ ආයෝජන පැමිණිය යුතු වුවත් බදු සහන ලබා දී තිබියදී පවා අපේ රටට එවැනි ආයෝජන ලැබෙන්නේ නැහැ. එම නිසා රටට ආදායමක් නොලැබෙනවා සේම රැකියා අවස්ථාවන් ද බිහි වන්නේ නැහැ. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනොනැගෙන නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැහැ. ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ වෙනත් රටවල් අවසානයට ගසන ලද තුරුම්පුව කැසිනෝ ව්‍යාපාරයයි. සන්ධාන ආණ්ඩුවත් එවැනි ආර්ථිකයකට සූදානම් වෙනවා.


මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති නිසා ආයෝජකයින් නොඑන අතරම රට හැර යන තත්ත්වයක් උදා වෙලා. ඒකාධිපති පාලනයක් තුළ මානව හිමිකම් උල්ලංඝණය වන නිසා ව්‍යාපාර කර ගෙන යාමට නොහැකි වෙලා. රටවල් 33 ක රාජ්‍ය නායකයින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එලෙස පැමිණෙන්නේ අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයින් බව කිව යුතුයි. ඔවුන්ගෙන් මේ රටට ලබා ගත හැකි ආයෝජන අවස්ථාවක් නැහැ. "



Post a Comment