දෙවන අධිවේගී මාර්ගය අද ජනතා අයිතියට

දෙවන අධිවේගී මාර්ගය අද ජනතා අයිතියට


කොළඹ - කටුනායක ශ‍්‍රි ලංකාවේ දෙවන අධිවේගි මාර්ගය අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්නයෙන් වීවෘත විය.




පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැමිණෙන රාජ්‍ය නායකයින්ගේ පහසුව ඉලක්ක කර ගනිමින් මෙම අධිවේගී මාර්ගය වීවෘත කර තිබේ. මෙම අධීවේගී මාර්ගය සෑදීම සඳහා චීන රජයේ ණය ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය කර තිබේ.


අන්තර් හුවමාරු මධ්‍යස්ථාන තුනකින් සහ මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගය කිලෝමීටර් 25.8 දුරකින් යුක්තය.


වරාය හා මහමාර්ග අමාත්‍යාංශය පැවසුවේ පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ගමන් කළ හැකි වන පරිදි ඉදිකර ඇති මෙම මාර්ගයේ කටුනායක සිට කොළඹට විනාඩි 20ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකියාව පවතින බවයි.


මාර්ගය භාවිත කිරීමේ දී රථ වාහන කාණ්ඩ 4ක් යටතේ මුදල් අය කෙරෙයි.


සියලුම මෝටර් රථ, ජීප්, වැගන්, සියලුම කැබ් රථ, ආසන 9 දක්වා වු සියලුම වෑන් රථ, සැහැල්ලු බඩු ප්‍රවාහන වෑන් රථ, එම ට්‍රක් රථ සහ සැහැල්ලු මෝටර් ලොරි සඳහා පෑලියගොඩ සිට ජා ඇල දක්වා රුපියල් 200ක් ද කටුනායක දක්වා රුපියල් 300ක් ද අය කෙරේ.


ජා ඇල සිට කටුනායක දක්වා අය කරන ගාස්තුව රුපියල් 200කි.


ආසන 9ට වැඩි මගී ප්‍රවාහන වෑන් රථ සහ ආසන 9ත් 33ත් අතර සියලු බස් රථ සඳහා පෑලියගොඩ සිට ජා ඇල දක්වා රුපියල් 350ක් ද කටුනායක දක්වා රුපියල් 450ක් ද අය කෙරෙයි.


එම වාහන සඳහා ජා ඇල සිට කටුනායක දක්වා ගාස්තුව රුපියල් 300කි.


ආසන 33ට වැඩි බස් රථ, සැහැල්ලු මෝටර් ලොරි සහ මෝටර් ලොරි සඳහා පෑලියගොඩ සිට ජා ඇල දක්වා රුපියල් 400ක් ද කටුනායක දක්වා රුපියල් 600ක් ද අය කෙරෙන අතර ජා ඇල සිට කටුනායක දක්වා එම වාහන සඳහා රුපියල් 300ක මුදලක් අය කෙරේ.


බර මෝටර් කෝච් සහ බර මෝටර් ලොරි සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 800ක ගාස්තුවක් අය කෙරෙන බව මහමාර්ග අමාත්‍යාංශය නිවේදනය කර ඇත.


මේ අතර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ලංගම බස් රථ ධාවනය අද පස්වරු හයේ සිට ක්‍රියාත්මක වේ‍.


කොළඹ සිට ජා ඇල දක්වා රුපියල් 100ක්, කටුනායක දක්වා රුපියල් 130ක් සහ කොළඹ සිට මීගමුව දක්වා රුපියල් 150ක මුදලක් බස් ගාස්තු වශයෙන් අය කෙරෙයි.



Post a Comment