තිස්ස ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි


තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.


ඒ මහතා විසින් මෙම පෙත්සම අද ගොනුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.


තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්විය.


මේ සමග ඔහුගෙන් හිස්වූ පක්ෂ මහලේකම් තනතුරට කබීර් හෂීම් මහතා පත් කිරීමට ද එක්සත් ජාතික පක්ෂය පියවර ගත්තේය.


මැතිවරණයෙන් අනතුරුව පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී තිස්ස අත්තනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව වාර්තා විය.


ඒ අනූව තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අත්තනායක මහතා මෙම පෙත්සම ගොනු කර ඇතැයි සඳහන්ය.



Post a Comment