ශ‍්‍රී පාදය නැරඹීමට පැමිණි සිංගප්පූරු ජාතිකයෙක් මරුට



ශ‍්‍රී පාද ස්ථානය නැරඹීමට පැමිණි සිංගප්පූරු ජාතිකයෙකු මියගොස් තිබේ.

නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා පැවසුවේ ටෑන් ඇන් මියන් (අවු.55) නැමති අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.


තවත් සිංගප්පූරු සංචාරකයන් පිරිසක් සමග ඊයේ (16) පස්වරු 6 ට පමණ නල්ලතන්නියෙන් ශ‍්‍රීපාද මළුව දක්වා යන අවස්ථාවේ ඉදිකටුපාන ප‍්‍රදේශයේදී මොහු මියගොස් ඇති අතර ඉන් අනතුරුව මොහුගේ සිරුර පොලිස් නිලධාරීන් විසින් රැගෙනවිත් මස්කෙළිය රෝහලේ තැන්පත්කර ඇත.


මේ පිළිබඳව සිංගප්පූරු තානාපති කාර්යාලයටද දැනුම්දී ඇති බවත්, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බවත්, නල්ලතන්නිය පොලීසිය පැවසීය.


මෙම සංචාරකයින් පිරිස එම රටේ වැඩසිටින බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් සමග ඉකුත් 13 වෙනි දින දිවයිනට පැමිණ ගාල්ල ප‍්‍රදේශයේ පිංකමකට සහභාගීවී පසුව දළඳා මාළිගාවට ගොස් ඊයේ ශ‍්‍රී පාදය නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුවූ බව එම සංචාරයට පැමිණි ගාල්ලේ උදිත ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළේය.


විසිතුන් දෙනෙකුගෙන් සමන්විත එම සංචාරක පිරිස හෙට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත තිබුණි.


මෙම සංචාරකයින් පිරිස බෞද්ධ ආගමික කටයුතු වලට වැඩි දායකත්වයක් ලබාදෙන බව එම නායක ස්වාමින්වහන්සේ පැවසුවේය.


මෙම විදේශිකයා හෘදයාබාධයකින් මියයන්නට ඇති බව නල්ලතන්නිය පොලීසිය සැක කරයි.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ





Post a Comment