ආරක්ෂක විද්‍යාලයට අනිසි බලපෑම් එපා



ආරක්‍ෂක විද්‍යාලයට සිදුකරන බලපෑම් වහා නතර කළ යුතුව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


එහි මෙසේද සඳහන්ය.


ආරක්‍ෂක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ති‍්‍රවිධ හමුදාවන්ට අයත් නිලධාරීන්ගේ

දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ආරම්භ කළ කොළඹ ආරක්‍ෂක විද්‍යාලයේ පරිපාලනය මෙහෙයවීම

සම්බන්ධ වගකීම සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශය සතු වූවක් බව දැඩිව අවධාරණය කරන ලංකා ගුරුසේවා

සංගමය, ආරක්‍ෂක අමාත්‍යාංශය හෝ එහි වගකිව යුතු නිලධාරීන් ඊට අනවශ්‍ය අතපෙවීම් සිදුකරන්නේනම්

ඔබ ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය සෘජුවම එයට වගකිවයුතු බව දැඩිව අවධාරණය කරමු.


පසුගිය දිනවල මෙම පාසල තුළ ඇතිවූ බරපතළ නොසන්සුන්කාරී තත්ත්වයට ප‍්‍රධාන හේතුව

ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් පාසලේ පරිපාලනයට සිදුකරන ලද අනිසි බලපෑම් බව අප සංගමයේ

විශ්වාසයයි.

මෙම අනිසි බලපෑම් හේතුවෙන් පසුගියදා ගුරුවරුන් විසින් එසේ නොකරන ලෙස ඉල්ලා පාසල

ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකළ අතර ඊට ප‍්‍රතිචාර ලෙස ඊයේ දිනයේදී පාසලේ දෙමව්පියන් සුළු පිරිසක්

සහ බාහිර පුද්ගලයන්ද එකතුව පාසලේ ගුරුවරුන්ට හා විදුහල්පතිට එරෙහිව ඔවුන්ට අපහාස වන

අන්දමින් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.


මෙම දෙමව්පියන් යැයි පවසාගත් කණ්ඩායම විසින් මේ ආකාරයට ගුරුවරුන්ට හා විදුහල්පතිට අපහාස වන අන්දමින් උද්ඝෝෂණය කිරීමට විරෝධය

පළ කරමින් අද දින ගුරුවරුන් සියල්ල අසනීප නිවාඩු දමා පාසලට පැමිණීමෙන් වැළකී සිටිති.

ලැබී ඇති තොරතුරු අනුව ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් කලක

සිටම පාසලේ විදුහල්පති හා ගුරුවරුන්ට තම රාජකාරි කටයුතු කරගෙන යාමට බාධා ගෙන දී තිබේ.

පාසල තුළ පරිපාලනය ද ආරක්‍ෂක නිලධාරීන්ගේ උවමනාවට සිදුකිරිමට ගත් මෙකී බලපෑම හේතුවෙන්

විදුහල්පති හා ගුරුවරුන් දැඩි ලෙස මානසික ආතතියටත්, පීඩාවටත් ලක්ව සිටි බව ගුරුවරු පවසති.


විශේෂයෙන් මෙම පාසල තුළ සිදුවන්නේ දරුවන්ගේ අධ්‍යාපන කාර්යක් බව දැඩිව අවධාරණය

කරන අතර ඒ සඳහා සුදුසුකම් ඇති පරිපාලනයක් හා ගුරුභවතුන් සිටින බවත්, ඔවුන්ට ඒ සඳහා අවස්ථාව

සලසා දීම අදාළ සියලූ පාර්ශවයන්ගේ වගකීමක් බවද දැඩිව අවධාරණය කරමු.


එසේ නොවන තත්ත්වයක් එම පාසල තුළ පවතීනම් එහි ඵලවිපාක භුක්ති විඳීමට සිදුවනුයේ අහිංසක

දරුවන්ට බව තේරුම් ගත යුතුව ඇත. විශේෂයෙන් මෙම පාසලට ගුරුවරයෙකු පත්කිරීම හෝ ස්ථාන

මාරු කිරීම මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයට වෙහෙසකර කාර්යක් වී ඇත්තේ මෙම පාසල තුළ පවතින

විවිධ ගැටළුකාරී තත්වයන් බව නොරහසකි.


මේ සඳහා මූලික හේතු ගණනාවකි. විශේෂයෙන් මෙරට කි‍්‍රයාත්මක අධ්‍යාපන කි‍්‍රයාවලිය දෙස

බැලීමේදී ආරක්‍ෂක හමුදා වල සේවයේ නියුතු දරුවන්ට පමණක් මෙම පාසල සීමා කිරීම තුළ එම දරුවන්ට

මෙන්ම මෙම පාසලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූවද එම අවස්ථාව මගහැරී යන අවට පදිංචි සෙසු සිසු

දරුවන්ටද, සිදුකරන බලවත් අසාධාරණයකි. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දරුවන්ට

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කිසිදු හේතුවක් නිසා අවහිර නොවිය යුතුය යන මූලික අයිතිවාසිකම ද

උල්ලංඝණය කිරීමක් වන අතරම නරක පූර්වාදර්ශයක් රටට ලබාදීමක් ද වේ.


මේ අනුව යමින් රටේ අනෙකුත් වෘත්තීන් වල නිරත විවිධ පිරිස් මේ ආකාරයට තම වෘත්තියට හෝ

සේවාවන්ට සීමාවූ පාසල් ඉල්ලා සිටියහොත් ඇති විය හැකි තත්ත්වය පිළිබඳවද ඔබගේ දැඩි අවධානය යොමු

කරවමු. එබැවින් මෙම සියලූ තත්වයන් සලකා බලා ආරක්‍ෂක විද්‍යාලය ද පොදු පාසල් පද්ධතියට ඇතුළත්

කර සෙසු දරුවන්ටද එම පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබිය හැකි පාසලක් බවට පත්කරන ලෙසත්, ඒ

සඳහා එල්ලවන බලපෑම් වහා නතර කිරීමට පියවර ගන්නා ලෙසත්, දැඩිව අවධාරණය කර සිටිමු.



Post a Comment