වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ගෙන නෑ


මතභේදයට තුඩු දී ඇති කොළඹ වරාය නගර සංවර්ධන (අමෙරිකන් ඩොලර් බිලියන 1.5) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පසුගිය රජය චීනය සමග ගිවිසගෙන ගෙන ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව මෙන්ම නිසි ක්‍රමවේද අනුගමනය නොකර යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


මේ නිසා ඒ තුළ දූෂණ සිදුව ඇතිදැයි සොයා බැලීම සඳහා නව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටි‍ෙය්ය.


ඒ අනූව අදාළ ව්‍යාපෘතිය ගැන කමිටු දෙකක් විමර්ශනයක් ආරම්භ කර එහි අක්‍රමිකතා සිදුව ඇතිදැයි පරික්ෂා කිරීමට නියමිත අතරම මේ දක්වා ව්‍යාපෘතිය නතර කිරීමට රජය තීරණයක් ගෙන නැති බවද ඒ මහතා පැවසීය.


එම ව්‍යාපෘතියේ මෙතෙක් සිදුව ඇති සියලු කටයුතු සිදුව ඇත්තේ විනිවිදභාවයකින් තොරව යැයිද නීතිමය ක්‍රියාමාර්ග බො‍හෝමයක් ඇගයුමට ලක්කර නැතැයිද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.


ඒ අනූව අදාළ ගිවිසුම අත්සන් කිරීමේදී නීතියට පටහැනි දෙයක් සිදුව ඇති නම්, රටට හානිකර තත්ත්වයක් උදාවේනම් ඒ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු අවධාරණය කළේය.


ඒ අතරම චීනය අදාළ ව්‍යාපෘතියේ ආරක්ෂාව තහවුරු කිරීමට උනන්දුවෙන් සිටින බවද, විදේශ ඇමතිවරයා ඉදිරියේදී එරට සංචාරය කිරීමට බවද, ජනාධිපතිවරයා මාර්තු මස අවසානයේදී එරට සංචාරය කිරීමට නියමිත බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.


මේ අතර අදාළ ව්‍යාපෘතියට අදාළව නව රජයේ පසුවිපරම ගැන තම රට දැනුවත් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයද කියයි.



Post a Comment