වැරදිලා මගේ වාහනයකුත් උස්සලා - රත්තරන් ‍දොස් කියයි


ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන් වූ වාහනයක් යැයි සිතා තමාට අයත් කැබි රථයක් පොලීසිය විසින් රැගෙන ගොස් ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් චෝදනා නඟයි.


කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට කුරුණෑගල පෞද්ගලික ආයතනයකට දී තිබූ එම වාහනය අද පෙරවරුවේ පොලීසියෙන් පැමිණි පිරිසක් රැගෙන ගොස් ඇති බව හෙතෙම කියයි.


එම ස්ථානයේ තිබුණු වාහන 5ක් ඒ ආකාරයට ගෙන ගොස් ඇති බවත්, ඉන් එකක් තමාට අයත් කැබ් රථයක් බවත්, ඔහු පවසයි.


එහි සිටි සේවකයින් තමාට මේ බව දැනුම්දුන් බවද පොලීසියෙන් පැමිණ තමාගේ වාහනය ඇතුළු වාහන 5ක් රැගෙන ගොස් ඇති බවද පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කරයි.


මෙය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් යැයිද ඒ අනූව තමන් මීට අදාළව පියවරක් ගන්නා බවද ඒ මහතා කියයි.


මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ කුරුණෑගල පොලීසියේ සම්බන්ධයක් ඊට නැති බවද වෙනත් නිලධාරීන් පිරිසක් එහි ගියාදැයි මෙතෙක් දැන ගැනීමට නැති බවයි.



Post a Comment