ඒකීයභාවය වෙනුවෙන් පෙරට එන්නැයි දේශපේ‍්‍රමීන්ගෙන් ඉල්ලා සිටිනවා

උදාවී ඇත්තේ ජාතියේ සතුරන් උද්දාමයට පත්ව සිටින යුගයක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි.

දින 100කින් අලූත් රටක් කෙසේ වෙතත් ෆෙඩරල් රටකට නම් පාර කැපෙමින් පවතින බව පැහැදිළි යැයි නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වාදෙයි.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


දිනාගත් නිදහස රැකගැනීමට අත්වැල් බැද ගනිමු


1505 සිට අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයට නතුව තිබූ ශ‍්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස අත්පත් කරගත්තේ එම වකවානුව තුළ පැන නැගි විවිධ නිදහස් අරගලයන්හි ප‍්‍රතිඵලයක් ලෙසය. එම නිදහස් අරගලයන්ට මුල් වූ වීරවරයන් හා වීරවරියන් මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත.


1948 දී අප ජාතිය සතු වූයේ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික යන ක්ෂේත්‍රවල පරිපූර්ණ නිදහසක් නොවන බව අවිවාදිතය. එබැවින් එකී සියලූ ක්ෂේත‍්‍රයන් හි පරිපූර්ණ නිදහසක් දිනා ගැනීමේ අභියෝගය ජාතියක් ලෙස අප හමුවේ තිබිණි. ගෙවී ගිය වකවානුව තුළ ඊට බලවත් බාධකයක්ව තිබුණේ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයයි. 2009 මැයි 18 වැනිදා බෙදුම්වාදී කොට් ත‍්‍රස්තවාදය පරදවා ලැබූ ජයග‍්‍රහණයත් සමගම අපට ජාතියක් ලෙස පරීපුර්ණ නිදහසක් දිනා ගැනීමේ සටන යළි ඇරඹීමේ ඉඩකඩ නිර්මාණය විය.


අප ජාතියක් ලෙස පරිපූර්ණ නිදහසක් දිනාගැනීමට නම් ඊට සටන් පෙරමුණු ගණනාවක් ඔස්සේ සටන් වැදිය යුතුව තිබිණි. බෙදුම්වාදය මතවාදිව පරාජය කිරිමේ සටන, බෙදුම්වාදය පිටුපස සිටින අධිරාජ්‍යවාදී බලවේගයන්හි ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමේ න්‍යාය පත‍්‍රය පැරදවීමේ සටන (බටහිර වටලෑමට එරෙහි සටන) අපරාධවලින් තොර මව්බිමක් නිර්මාණය කිරීමේ සටන, නිෂ්පාදන ආර්ථිකයකට මුල්තැන දෙන සටන, ජාතික ආර්ථික මොඩලයකට පණ දෙන සටන යන සටන් සියල්ල ඊට අයත් විය.


නමුත් පසුගිය ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරළියත් සමග දිනාගත් නිදහසද ජාතියට අහිමිවීමේ අවදානමක් මතුව තිබේ. දැන් යළිත් කොටි සංවිධානයේ නිල වෙබ් අඩවිය වූ ටැමිල් නෙට් නිදහසේ පවත්වාගෙන යනු ලබයි. දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට හිසරදයක්ව සිටි උතුරේ ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ධුරයෙන් ඉවත්කර තිබේ. උතුර නිර්මිලිටරිකරණය කිරීමට එනම් උතුරෙන් හමුදා ඉවත්කර ගැනීමට සූදානම් බව වත්මන් විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේදී පවසා තිබේ. දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළිගන්නා බවත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන බවත් නව ආණ්ඩුවේ අගමැතිවරයා අවධාරණය කොට ඇත. එපමණක් නොව ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට කලක් පහසුකම් සැපයූ නොර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් ද පවසා ඇත්තේ, තමන් මහින්ද රාජපක්ෂ පාලනය ලැබූ පරාජයෙන් උද්දාමයට පත්ව සිටින බවයි.


උදාවී ඇත්තේ ජාතියේ සතුරන් උද්දාමයට පත්ව සිටින යුගයකි. දින 100කින් අලූත් රටක් කෙසේ වෙතත් ෆෙඩරල් රටකට නම් පාර කැපෙමින් පවතින බව පැහැදිළිය. එහෙයින් දිනාගත් නිදහස රැකගනිමින් රටේ ජාතික ආරක්ෂාවත් එකීයභාවයත් තහවුරුකරන ගමනකට අත්වැල් බැඳ ගන්නා ලෙස දේශපේ‍්‍රමී සියලූ ශ‍්‍රී ලංකිකයන් වෙතින් ඉල්ලා සිටින්නෙමු.


විමල් වීරවංශ (පා.ම)

නායක,

ජාතික නිදහස් පෙරමුණ,

2015.02.03



Post a Comment