ජවිපෙ දෙකඩ කළා - ශ්‍රීලනිපයත් කඩන්න හදනවා - වීරවංශගේ බිරිඳට නීතිය බලපාන්නේ නැද්ද?

උප්පැන්න සහතික වෙනස් කර, විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සාදා ආගමන විගමන නීතිය උල්‍ලංඝණය කර ඇති හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳට එරෙහිව නීතිය බලපාන්නේ නැතිදැයි කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි.

අද කඩුවෙලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එලෙස විදෙස් ගමන් බලපත්‍ර දෙකක් හදා ගැනීම හිතා මතාම කර ඇති දෙයක් බවයි.


මේ වැනි වරදකට අවම වශයෙන් අවුරුදු 7ක සිරදඬුවමක් ලැබිය යුතු බවත්, එම වරදින් නිදහස් වීමට විමල් වීරවංශ මහතා මෛත්‍රී ළඟට ගිහින් වැඳ සමාව ගැනීමට සිදුවන බවත්, හෙතෙම එහිදී පැවසීය.


වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ දෙකට කැඩූ බවත්, දේශපාලන කන්‍යාභාවය නැති කරගත්තු තවත් අයෙකු සමග එක්වී ඔහු ශ්‍රීලනිපය දෙකඩ කඩන්න හදන බවත්, බුද්ධදාස මහතා කියා සිටියේය.


විමල් වීරවංශ මහතාට අනාගතයක් නැති බවද, ඉදිරි මැතිවරණයකදී ඔහුට පරාජය නියත බවද, ඒ අනූව ඉදිරියේදී කඩුවෙලින් ඡන්ද 5000ක්වත් ගැනීමට ඉඩ නොදෙන බවද, ඒ මහතා පැවසීය.


රවී කරුණානායක මුදල් ඇමතිවරයා‍ ලෙස ජනතා හිතවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවද, දින 100 වැඩපිළිවෙළට සහය දෙන බවද, බුද්ධදාස මහතා කියා සිටියේය.


සමාජවාදය කතා කරන විමල් වීරවංශ මහතා නියපොතු කපන්නේ එක්තරා ව්‍යාපාරික ස්ථානයකට රුපියල් 1000ක් ලබාදී බවද ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.



Post a Comment