ජන්ද පෙට්ටි ප්‍රවාහනයට සියල්ල සුදානම්

2015 ජනාධිපතිවරණයට අදාළව ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබේ.

ඊයේ(06) දිනයේ මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් අදාළ ජන්ද පෙට්ටි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.


කොළඹ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී කමල් පද්මසිරි මහතා පැවසුවේ අද පෙරවරුවේ සිට ජන්ද මධ්‍යස්ථාන කරා ජන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බවයි.


මාතර දිස්ත්‍රික්කයේ ද ජන්ද පෙට්ටි අදාළ ස්ථාන කරා ප්‍රවාහනය කිරීම සඳහා සියල්ල සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.ඒ.සී.විදාගමාච්චි මහත්මිය පවසයි.


ඇය පවසන්නේ ජන්ද මධ්‍යස්ථාන 455 කදී මාතර දිස්ත්‍රික්කයේ ජන්ද විමසීම සිදු කෙරෙන බවයි.


අදාළ ජන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව ද තර කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.ඒ.සී.විදාගමාච්චි මහත්මිය පැවසුවාය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද සියළු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


මේ වනවිටත් ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සහ අදාළ රාජකාරී සඳහා මැතිවරණ කාර්යමණ්ඩල වාර්තා කර ඇති බව මහින්ද සෙනවිරත්න මහතා සඳහන් කළේය.


එසේම මහනුවර දිස්ත්‍රික්කයේ ද ජන්ද මධ්‍යස්ථාන කරා ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට මේ වනවිට සියළු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේය.


දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීමට ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව බව ඒ මහතා පෙන්වා ‍දුන්නේය.


එළඹෙන ජනාධිපතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ද සියළු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රවින්ද්‍ර හේවාවිතාරන මහතා සඳහන් කළේය.


තවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ද මුලික මැතිවරන කටයුතු සාර්ථකව සිදුකෙරෙන බව දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාසිරි මහතා පැවසුවේය .



Post a Comment