දැන් සිංහල ජනතාවගෙන් බහුතරයකටත් මහින්ද රාජපක්ෂ ගැන පැහැදීමක් නෑ - සෝභිත හිමි

මේවන විට ද්‍රවිඩ ජනතාව පමණක් නොව සිංහල ජනතාවගෙන් බහුතරයද ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගැන කලකිරී සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පවසා තිබේ.


පොලීස් සේවයේ සිට අධිකරණය දක්වා ක්‍රියාත්මක වන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ බව පෙන්වාදෙන උන්වහන්සේ මේ නිසා දූෂණ සිදුකරන අය කවරෙකු වුවද රජය විසින් ආරක්ෂා කරන බැවින් ඉන් ජනතාව පීඩාවට පත්ව ඇතැයි අවධාරණය කරයි.


විශේෂයෙන් විධායක ජනපති ක්‍රමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ හා යහපාලනයට තර්ජනයක් වී ඇති බැවින් ශක්තිමත් ප්‍රවේශයකින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කළ යුතු බව සෝභිත හිමියන් පෙන්වාදෙයි.


විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට රජය පියවර නොගන්නේ නම් පොදු අපේක්ෂකයෙකු ලවා ජනපතිට අභියෝග කරන බව රජයට පැවසූ බවද සෝභිත හිමියන් සඳහන් කරයි.


ඒ අනූව තමන් වහන්සේ ඇතුළුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂනායක මෙන්ම හිටපු අගමැතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහය ඇති ව මෑතකදී මහින්ද රාජපක්ෂ රජයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයෙකු ලෙස නම් කළ බව උන්වහන්සේ කියා සිටියි.


ජ්‍යෙෂ්ඨ ස්වාමින් වහන්සේගේ සහය ද පොදු අපේක්ෂකයාට ලැබෙන බැවින් මහින්ද රාජපක්ෂ ජනපතිගේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට මෙවර එය බලපෑමක් වන බව සෝභිත හිමියන් පෙන්වාදෙයි.


ගැටලු මතු වූයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථාවේ සඳහන් ජනපතිවරණයට දෙවරකට වඩා තරඟ කළ නොහැකි බාධාව ඉවත් කර ගැනීමත් සමග යැයිද උන්වහන්සේ කියා සිටියි.


මැතිවරණයේදී දෙමළ ජනතාවගේ සහය ගැන ප්‍රශ්නයට පිළිතුරු ලෙස සෝභිත හිමියන් සඳහන් කරන්නේ පෙනෙන්නට ඇති පරිදි ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඔවුන්ගේ සහය හිමිවනු ඇති බවයි.


කෙසේ වුවද විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ කාරණයේදී ඔවුන්ගේ ඡන්ද ඉතා තීරණාත්මක සාධකයක් යැයිද සෝභිත හිමියන් අවධාරණය කරයි.


මේ නිසා දෙමළ ජනතාවගේ ගැටලු ගැන සාධාරණ සාකච්ඡාවක් සිදුවිය යුතු බවද පවසන සෝභිත හිමියන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් දෙමළ නායකත්වය කැඳවා සාකච්ඡා කළ යුතු බව පෙන්වාදෙයි.


සිංහල ජනතාවට පමණක් නොව දෙමළ හා මුස්ලිම් ජනතාගේ ගැටලුවලට විසඳුම් දිය හැකි, ජාති කුල‍ බේදවලින් තොර අපක්ෂපාතිව කටයුතු කළ හැකි රජයක් අවශ්‍ය බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.


මේවන විට 73 හැවිරිදි වියේ පසුවන මාදුළුවාවේ සෝභිත හිමියන් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස ද “ ද හින්දු” පුවත්පත සඳහන් කර ඇත.



Post a Comment