තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට සැපත් වූ පාප් වහන්සේ අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිලිපීනය බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පසුගිය අගහරුවාදා පෙරවරුවේ මෙරටට සැපත් වු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ පස්වරුවේ මන්නාරම මඩු පල්ලියේ විශේෂ දේව මෙහෙයකට එක්වුණි.
ඊයේ පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී උන්වහන්සේගේ ප්‍රධාන දේව මෙහෙය ලක්ෂ 05 කට අධික ජන සහභාගීත්වයෙන් සිදුකෙරුණි.
එහිදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ ජෝසප් වාස් මුණිතුමන් ශාන්තුවරයට පත් කරනු ලැබුවේය.
ප්‍රධාන දේව මෙහෙයින් අනතුරුව මඩු දේවස්ථානය බලා පිටත්ව ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිළිගනු ලැබුවේ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් හිමිපාණන් විසිනි.
අනතුරුව පාප් වහන්සේ විසින් මඩු දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වා සියලු ජනතාවට ආශිර්වාද සිදුකරනු ලැබුවේය.
යුද්ධයේ කටුක බව අමතක කොට උතුරෙත් දකුණෙත් ජනතාව ජාති ආගම් භේද අතහැර සහෝදරත්වය පෙරදැරි කරගෙන ජීවත් විය යුතුව ඇතැයි උන්වහන්සේ එහිදී දේශනා කළේය.
ශ්‍රී ලංකාවට සාමය උදාවී ඇති මෙම අවස්ථාවේ සියලු දෙනාට සමාව ලබාදී එකිනෙකා සහෝදරත්වයෙන් යුතුව කටයුතු කොට සාමය තවතවත් ස්ථාවර කරගත යුතුව ඇතැයි පාප්වහන්සේ මෙහිදී පෙන්වාදුන්නේය.

Post a Comment