වත්කම් පරීක්ෂණ වෙනුවෙන් විධිමත් ඉල්ලීම් වලට සීෂෙල්ස් සහය දෙන්න සූදානම්

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඉදිරිපත් කරන සියළුම විධිමත් ඉල්ලීම් වලට සහයෝගය දැක්වීමට සූදානම් බව සීෂෙල්ස් රාජ්‍ය නිවේදනය කර තිබේ.

සීෂෙල්ස් විදේශ අමාත්‍යංශය විසින් ඊයේ නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව පෙන්වාදෙන අතර සීෂෙල්ස් රාජ්‍යය සමග මහින්ද රාජපක්ෂ මහතා තිබූ සම්බන්ධතාවය මත එරට වත්කම් සඟවා ඇතැයි වත්මන් රජය විසින් එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුක් කර ඇත.


සොරකම් කරන වත්කම් සැඟවීම සඳහා සීෂෙල්ස් රාජ්‍යය කදිම ස්ථානයක් යැයි වත්මන් රජයේ ඇතැම් අය නඟන චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සීෂෙල්ස් විදේශ අමාත්‍ය ජීන් පොල් ඇඩම් පෙන්වාදෙයි.


ශ්‍රී ලාංකිකයින් විසින් සීෂෙල්ස් රාජ්‍යයේ කර තිබෙන සියළුම ආයෝජන දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව හෙළිකල හැකි බව ඔහු කියා සිටියි.


පසුගිය රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර තිබෙන අතර ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී.


මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරය කළ අතර එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්ද විවෘත කරන ලදී.


දෙරට අතර ගොඩනැඟුණු මෙම සබඳතාවයන් ඉතාමත් වැදගත් ඒවා බව එරට විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.



Post a Comment