එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව කිහිපයක් දැනුවත් කරමින් යොමුකරන ලද ලිපියක් පහත පරිදිය.
එකී ලිපිය වැඩිදුරටත් පහත වේ.
අධ්‍යාපන ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල,
ලේකම්තුමනි,
වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2015 වසරට පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ළමුන්ගෙන් රු. 11000/- ක් බැගින් අය කිරීම සම්බන්ධවයි.
ගාල්ල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක් වූ වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයට මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට සුදුසුකම් ලැබූ 180 ක් පමණ වන දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී රු.11,000/-ක මුදලක් අය කිරීම පිළිබඳ එම දරුවන්ගේ දෙමව්පියන්ගෙන් අප සංගමය වෙත පැමිණිලි ලැබී තිබේ.
02 - පළමු වටයේදී මෙම දෙමව්පියන්ගෙන් පංති වර්ණාලේප කිරීම සඳහා යැයි පවසමින් රුපියල් 3000/- ක් බැගින් අයකර තිබෙන අතර ඒ සඳහා කිසිදු ලදු පතක් හෝ ලබාදී නොමැත.
03 - මීට අමතරව 2015.01.14. (හෙට) දින සිට දරුවන් නිල වශයෙන් පාසලට ඇතුළත් කිරීම සඳහා උප්පැන්න සහතිකයද සමග රු 8000/- ක් ද රැගෙන එන ලෙස දෙමව්පියන්ට දන්වා තිබේ. අදාළ මුදල රැගෙන නොඑන දෙමව්පියන්ගේ දරුවන් පාසලට ඇතුළත් කර නොගන්නා බවද දන්වා තිබීම නිසා ආර්ථික අපහසුතා තිබෙන දෙමව්පියන් දැඩි අසරණභාවයටත් අසීරුතාවටත් පත්ව සිටින බවට වාර්තා වේ.
04. දරුවන් පාසලට ඇතුළත් කිරීම වෙනුවෙන් එම දෙමව්පියන් තුළ තිබෙන උනන්දුව හා ඕනෑකම වැරදි ආකාරයට යොදාගනිමින් ඔවුන්ගෙන් පාසලේ විවිධ නඩත්තු කටයුතු සඳහා අනියම් ආකාරයෙන් මෙලෙස රු. 11000/- ක මුදලක් ලබාගැනීම බරපතළ විෂමාචාරයක් මෙන්ම දෙමව්පියන් දැඩි අසරණාභාවයටත් අසීරුවටත් පත් කිරීමක් බව අප සංගමය අවධාරණය කර සිටිමු. 05. කරුණු මෙසේ හෙයින් අසරණ දෙමව්පියන්ගෙන් මේ ආකාරයට අනියමින් බලහත්කාරය යොදවා මුදල් එකතු කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, කිසිදු මුදලක් අයකර නොගෙන මෙම දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසත් ඔබගෙන් ඉල්ලා සිටින අප සංගමය මෙසේ අනියම් ලෙස බලහත්කාරයෙන් දරුවන්ගේ දෙමව්පියන්ගෙන් මුදල් ලබාගත් පාසල් බලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන මෙන්ද අවධාරණය කර සිටිමු.
ස්තුතියි
මෙයට
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය
පිටපත් :- 01 - පළාත් අධ්‍යාපන ලේකම් - දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය
01 - පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ - දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Post a Comment