කුමන්ත්‍රණයක් ගැන මංගලගෙන් සී.අයී.ඩියට පැමිණිල්ලක්

පසුගිය මැතිවරණ දින රාත්‍රී සිදුවන්නට ගිය බව කියන කුමන්ත්‍රණයක් ගැන වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට ලැබී ඇති තොරතුරු අනූව එම පැමිණිල්ල කළ බවයි.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී ගම්මන්පිල යන අයගේ සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමක් ගැන සාකච්ඡා කර ඇතැයි තමන්ට දැන ගන්නට ලැබුණු බව ඇමතිවරයා කියයි.


එසේම එම සාකච්ඡාවට පුදුම සහගත ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ද සම්බන්ධ වී ඇති බවත්, මොවුන් සාකච්ඡා කර ඇත්තේ හදිසි නීතිය පනවා ඡන්ද ගණන් කිරීම නතර කර මැතිවරණ කොමසාරිස්වරයා පවා අත්අඩංගුවට ගැනීමට යැයි හෙතෙම පෙන්වාදෙයි.


රටේ වාසනාවකට පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් එම නීති විරෝධී කුමන්ත්‍රණයට සම්බන්ධ වෙන්න බැරි බව පවසා ඇති බවද මංගල සමරවීර ඇමතිවරයා කියයි.


ඒ අනූව මොවුන් රාජ්‍ය විරෝධී කාර්යයක් නියැළී ඇති බවත්, එකී කුමන්ත්‍රණකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 115 120 වගන්ති උල්ලංඝණය කර ඇති බවත්, මේ ගැන වහා පරීක්ෂණයක් පවත්වන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ඇමතිවරයා පවසයි.



Post a Comment