කීවේ මෛත්‍රී පාලනයක් - ගෙනියන්නේ තුච්ඡ පාලනයක්

දින 100ක් ඇතුළත අලූත් රටක් හදන බවට ජනතාවගේ ඇස් නිලංකාර වන බොරු බේගල් ඇද දැමූ වත්මන් පාලනය දින 100කටත් කලින් ‘ෆෙඩරල් රටක්’ හැදීමට කඩිනමින් කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අනතුරු හඟවයි.

අද(22) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කියා සිටියේය.


‘‘යහපාලනයේ ස්වභාවය රටටම හෙළි කරන අවස්ථාවන් කිහිපයක් දැක ගත හැකි වුණා. ‘මෛත‍්‍රී ආණ්ඩුවේ කැබිනට්ටුව 25යි’ කියලා තමයි පසුගිය 10 වැනිදා රාජිත සේනාරත්න මහත්තයා පවසා තිබුණේ. එය පසුගිය 11 වැනිදා පුවත්පතක ප‍්‍රධාන පුවත ලෙස පළ කොට තිබුණා. නමුත් මේ වන විට, වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු පමණක් 29 ක් සිටිනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු කැබිනට් අමාත්‍යවරයකු සතු සියලූ වරප‍්‍රසාද හිමි රාජ්‍ය අමාත්‍යවරු 11 දෙනකු පත් කොට තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරුන් 13 ක් සිටිනවා. ඒ අනුව අමාත්‍ය වරප‍්‍රසාද හිමි 53 දෙනකු සිටිනවා.


මේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ආදී අමාත්‍යවරු 53 අතර සිටිනවා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 40 දෙනකු. පාර්ලිමේන්තුව තුළ සිටින මුළු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු ගණන 49යි. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 81%කට කවර හෝ අමාත්‍ය ධුරයක් ලබාදී තිබෙනවා. අමාත්‍ය වරප‍්‍රසාද ලබාදී තිබෙනවා.


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලනය පිළිබඳව පවසමින් අද ගොඩනඟලා තියෙන්නේ තනිකරම යූ.එන්.පී. ආණ්ඩුවක් නොවෙයිද? එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු 49න් 40කටම අමාත්‍ය වරප‍්‍රසාද ලැබී තිබෙනවා නම් ඊළඟ මහ මැතිවරණයේදී වාසි සැලසෙන්නේ ඔවුන්ට මිස වෙන කාටද? ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපතිවරයා මේ සිදු කර ඇත්තේ ඊළඟ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ‘ගෙඩිය පිටින්ම’ බලය ගැනීමට පාර කැපීමක් නොවෙයිද? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත් වී තිබෙන යහපත කුමක්ද? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ‘සන්තෝෂමක්’ විදිහට විපක්‍ෂ නායක ධුරය ලැබී තිබෙනවා.


‘නාස්තිය අවම කරලා, අරපිරිමැස්මෙන් රට කරනවා’ කියපු මේ මහත්වරු අද මේ විදිහට අමාත්‍ය වරප‍්‍රසාද භුක්ති විඳිනවා. ඒ අනුව යහපාලනය පටන් අරගෙන දින 10ක් ගෙවෙන්නත් මත්තෙන්, කාටත් වැටහිලා ඇති මේ අය බලයට ඒම සඳහා පවසා ඇත්තේ ‘පට්ටපල් කෙබර’ බව. දැන් පැහැදිලියි මේ අය, ජනතාවට බොරු සුරංගනා ලෝක පිළිබඳ සිහින පෙන්වලා, ඔවුන් රවටලා ඡන්ද කොල්ල කාපු බව. පවුල් පාලනයක් ගැන කියපු අය අද මොකද කරන්නේ? ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා කාගේ සහෝදරයා ද? එතකොට ඒක පවුල් පාලනයකට අදාළ නැද්ද? මේ අය මවපු සිහින දින 100ක් ගත වීමටත් මත්තෙන් බිඳ වැටී තිබෙනවා.


මේ දිනවල අගවිනිසුරු මොහාන් පීරිස් මැතිතුමන් ඉල්ලා අස්වන බවට ප‍්‍රවෘත්ති පළ වෙනවා. ඒ වගේම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසනවා, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කරන බව. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමියට ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑම් සිදු කරමින් සිටිනවා. මේ විදිහට ඉල්ලා අස්වන ලෙස විවිධ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට බලපෑම් කරනවා. ඉල්ලා අස් නොවුණොත් මරණ තර්ජන එනවා. පිකටිං කරනවා. බිය ගැන්වීම් සිදු කරනවා. මේක පුදුම ක‍්‍රමයක්නේ.


ඕනෑම ආයතනක ප‍්‍රධානියකු හෝ නිලධාරියකු ඉවත් කරන පිළිගත්, නිශ්චිත ක‍්‍රමවේදයක් තිබෙනවා. ඉන් බැහැර වී තර්ජනය කිරීම්, බිය වැද්දීම් මගින් ඔවුන් තනතුරු අතහැර යන තත්ත්වයට පත් කිරීම හරිද? අගවිනිසුරුවරයකු ඉවත් කිරීමට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක‍්‍රමවේදයක් තිබෙනවා. මේ රටේ නීතිගරුක පුරවැසියන් බලාපොරොත්තු වන යහපාලනය මේකද?. මේක හරියට කොටි සංවිධානය ජනතාව බිය ගන්වලා, ඔවුන් එක තැනකට කොටු කරලා තබා ගත්තා වගේ වැඩක්. ‘මෛත‍්‍රී පාලනයක්’ හදන්න ඇවිල්ලා අද මේ අය ගෙන යන්නේ තුච්ඡ, නින්දිත පාලනයක්. එදා 1977 ‘ධර්මිෂ්ඨ පාලනයක්’ හදන්න කියලා ඇවිල්ලා මේ අය මේ රට ලේ ගංගාවකින් නැහැවූවා. යළිත් එවැන්නකටද මේ සූදානම් වන්නේ, කියන සැකය අපට තිබෙනවා.



Post a Comment