ඒ කියන කුමන්ත්‍රණය ගැන අනුර මෙසේ කියයි

ජනවාරි 08දා පැවති ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා සාමකාමී ලෙස බලය හුවමාරු කළ බවට මතයක් තිබුණත් ඔවුන් උත්සාහ කළේ කුමන්ත‍්‍රණකාරී ලෙස බලය අත්පත්කරගෙන තවදුරටත් බලයේ රැඳී සිටීමට බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.


එහිදී අනුර කුමාර දිසානායක මහතා පහත පරිදි අදහස් දැක්විය.


“ජනවාරි 08වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා සාමකාමී ලෙස බලය හුවමාරු කළ බවට මතයක් තිබුණත් ඔවුන් උත්සාහ කළේ කුමන්ත‍්‍රණකාරී ලෙස බලය අත්පත්කරගෙන තවදුරටත් බලයේ රැඳී සිටීමටයි. එය අපේ රටේ සිදුවිය හැකි බරපතළම දේශද්‍රෝහී කි‍්‍රයාවක්. 1962 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට එරෙහිවත් මේ ආකාරයේ කුමන්ත‍්‍රණයක් දියත් වුණා. සිරිමා බණ්ඩාරනායක මැතිණියට හැකිවුණා. පැය 24ක් ඇතුළත එම කුමන්ත‍්‍රණය හඳුනාගෙන අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට.


අපේ රටේ ඡන්දයකින්ට පවතින බලය මාරුකර ගැනීමට අයිතියක් තිබෙනවා. එම ජනතා තීරණයට එරෙහිව යමින් බලය අත්පත් කරගැනීමට හොර රහසේ කුමන්ත‍්‍රණය කිරීම ඉතා භයානකයි.


ජනවාරි 09වැනි දින ගජබා රෙජිමේන්තුවේ හමුදා ඛණ්ඩාංක 07ක් විවිධ ස්ථානවල ස්ථානගත කර තිබුණා. කොළඹ හිටපු හමුදා ජෙනරාල් වෙනුවට විශේෂ ජෙනරාල්වරයෙක් කැඳවා තිබුණා. මීගමුව ප‍්‍රදේශයේ ගුවන් තොටුපොළ ආසන්නයේ ගජබා රෙජිමේන්තුවට අයත් විශේෂ හමුදා ඛණ්ඩාංකයක් ස්ථානගත කර තිබුණා. ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක විශේෂයෙන්ම ගජබා රෙජිමේන්තුවෙන් හමුදා ඛණ්ඩාංක 07ක් කොළඹට ගෙනාවේ ඇයි? මීගමුව ප‍්‍රදේශයේ විශේෂ හමුදා ඛණ්ඩාංකයක් ස්ථානගත කළේ ඇයි කියලා එම පළාත භාර පොලිස් අධිකාරිවරයා ප‍්‍රශ්නකර තිබුණා.


09වැනි දින උදෑසන අරලියගහ මන්දිරයේ එවැනි වේලාවක නොසිටිය යුතු පුද්ගලයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් කර තිබෙනවා. අපේ රටේ අගවිනිසුරුවරයා පාන්දර 3-4 අතර වෙලාවක අරලියගහ මන්දිරයේ කළේ කුමක්ද? රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට යන අවස්ථාවේත් අගවිනිසුරුවරයා එහි සිටි බව තහවුරු කරනවා. මේ පිරිස සාකච්ඡා කළේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ බලය අත්හැරීම නිසා ඔවුන් කළ කුමන්ත‍්‍රණය අහෝසි වන්නේ නැහැ. ඉදිරියට ගත් අඩිය පසුපසට ගත් අඩි 50ක් නිසා අහෝසි වන්නේ නැහැ. මෙය ගණිත සමීකරණයක් නොව දේශපාලනයයි. එනිසා මෙම කුමන්ත‍්‍රණය රටට හෙළිකළ යුතුයි. මේ වනවිටත් විදේශ අමාත්‍යවරයා ඒ පිළිබඳව රහස් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.


එම කුමන්ත‍්‍රණය සාර්ථක වූවානම් අපේ රට ලේ විලක් බවට පත්වන්නට ඉඩ තිබුණා. මිනිස් ජීවිත කඳු ගණන් මළ මිනී ලෙස ගොඩගැහෙන්න ඉඩ තිබුණා. එනිසා මේ පිළිබඳව රටේ ජනතාව දැනගත යුතුයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වේගයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි. ජාතික විධායක සභාවේ මේ පිළිබඳව සාකච්ඡා වුණා. එවැනි කුමන්ත‍්‍රණයක් තිබුණාද නැද්ද යන්න පිළිබඳව විධායක සභාවේ අවසන් තීරණයකට පැමිණිය යුතුව තිබුණා. එවැනි කුමන්ත‍්‍රණයක් තිබුණු බවට විධායක සභාව අවසන් තීරණයකට පැමිණියා. එනිසා ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට වගකීම භාර කළා. අපේ මතය වන්නේ ඒ පිළිබඳව කි‍්‍රයාමාර්ග ගැනීම මේ වනවිටත් ප‍්‍රමාද වී ඇති බවයි. මේ ගතවුණු කාලය තුළ ඒ පිළිබඳව සාකච්ඡා කර ගැනීමට කුමන්ත‍්‍රණයේ හවුල්කරුවන්ට ඉඩ ප‍්‍රස්ථාව ලැබී තිබෙනවා. එනිසා කඩිනම් පරීක්‍ෂණයක් කර ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුව තිබෙනවා.


මේ පිළිබඳව මාධ්‍යවේදීන් මෙන්ම රටේ ජනතාව ගැඹුරින් දැනගත යුතුයි. පසුගිය සති අන්ත පුවත්පත්වල ඒ පිළිබඳව විශාල තොරතුරු ප‍්‍රමාණයක් වාර්තා කර තිබුණා. ඔවුන්ට අපගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳව ඉක්මන් කි‍්‍රයාමාර්ග ගත යුතුයි. ඒ වගේම අපේ රටේ අගවිනිසුරුවරයා පාන්දර දෙකට-තුනට අරලියගහ මන්දිරයේ සිටින එක බරපතළ තත්ත්වයක්. ඒ වෙලාවට රජගෙදර නඩු අහන්නේ නැහැ. අගවිනිසුරුවරයෙකුට ජනාධිපතිවරයා හා ප‍්‍රසිද්ධියේ කරන සාකච්ඡාවලට අමතරව රහසේ මුණ ගැසීමට අයිතියක් නැහැ.


රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ අවස්ථාවක අගවිනිසුරුවරයා රජගෙදර මොකද කළේ? අපේ රටේ අගවිනිසුරු මොහාන් පීරිස් පිළිබඳව ජනතාවට සැකයක් තිබෙනවා. රටේ ජනතාවට ප‍්‍රශ්නයක් තිබෙනවා. ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ඔහු අගවිනිසුරු ලෙස පිළිගන්නේ නැති බවට තීරණයක් ගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවත් ඔහු පිළිනොගන්නා තත්ත්වයකට පත්වෙලා. ඔහුට එරෙහිව ජනතා විරෝධයක් තිබෙනවා. ඔහුගේ පත්වීමත් ව්‍යවස්ථාවට පටහැණියි. ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය පහකිරීම අත්හිටුවලා තිබෙනවා. ඒ වගේම නෙරපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර නැහැ. ඇයගේ කි‍්‍රයාකලාපය පිළිබඳව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කළා. තේරීම් කාරක සභාවේ වාර්තාවට අනුව ඇය නෙරපා හැරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් කළ යුතුව තිබුණා.


නමුත් එසේ කළේ නැහැ. එනිසා ජනාධිපතිවරයාගේ ලිපිය වැරදි සහගතයි. ඒ නිසාම මොහාන් පීරිස් පත්කිරීමද වලංගු වන්නේ නැහැ. එනිසා ඔහු අගවිනිසුරු ධුරයේ සිටීමට තවදුරටත් සුදුසු නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි. එම ධුරය සඳහා දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා පත්විය යුතුයි. අගවිනිසුරුවරයාගේ පත්වීම දේශපාලන පත්වීමක් විය යුතු නැහැ. ඕනෑම පුද්ගලයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුණත් එම පත්වීම දේශපාලන පත්වීමක් විය යුතු නැහැ. වර්තමාන අගවිනිසුරුවරයා ඉල්ලා අස්වන්නේ නැත්නම් ඔහු ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථානුකූල කරුණුවලට අප අවතීර්ණ විය යුතුයි.


පසුගිය සඳුදා කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ පිළිබඳව යම් පුද්ගලයෙක් තප්පුලන්න පටන් අරගෙන තිබෙනවා. එසේ කීම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවක්ලූ. ඔවුන් මොන විදියට දේශපාලනය ගණනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. පසුගිය කාලයේ පැවතුණු ත‍්‍රස්තවාදී යුද්ධය බරපතළ වුණේ ප‍්‍රධාන කරුණු 3ක් නිසයි. යුද අවි, ජාත්‍යන්තර සබඳතා සහ මුදල් ඒ ප‍්‍රධාන කරුණුයි. අවුරුදු 30ක් වැනි කාලයක් මේ යුද්ධය පවත්වාගෙන යාම සඳහාත් මහා විනාශයක් ඇති කිරීමටත් ඒවා ඉවහල් වුණා.


එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද අවි, මුදල් සැපයූවේ කේ.පී. විසින්. ඒ වගේම විශාල ජාත්‍යන්තර ජාලයක් පවත්වාගැනීම සඳහා ඇන්ටන් බාලසිංහම් වගේම කේ.පී, විශාල කාර්යභාරයක් කළා. අපේ රටේ කුමන හෝ ස්ථානයක වෙඩිල්ලක් පත්තු වුණානම්, බෝම්බයක් පිපිරුණා නම් ඒවා එව්වේ කේ.පී. විසින්. එල්.ටී.ටී.ඊ සංවිධානයට ඔත්තුකරුවන් මිලදී ගන්න යොදාගත්තේ කේ.පී. විසින් එවන ලද මුදල්. එම කාර්යභාරය නිසාම ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයා බවට පත්වුණේද කේ.පී. එයින්ම තේරෙනවා එල්.ටී.ටී.ඊ සංවිධානයට කේ.පී. විසින් දක්වන ලද දායකත්වය. අපේ රටේ බුද්ධි අංශ විසින් මැලේසියාවේදී ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු විවෘත අධිකරණයකට ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම වැදගත් වන්නේ අපේ රටට එල්ල වී තිබෙන බටහිර තර්ජනයට එරෙහිව කේ.පී. යොදාගත හැකි නිසයි. අපේ රටේ යුද්ධයට භාවිතා කළ අවි සපයන්නේ බටහිර රාජ්‍යයන්.


ඇමරිකාව සිදුකරන නීත්‍යානුකූල මෙන්ම නීති විරෝධී අවි ජාවාරම්වලින් කේ.පී. අවි ආයුද මිලදී ගත්තා. කේ. පී. හරහා එවැනි අවි ගනුදෙනු හෙළිදරව් කරගත හැකියි. ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත අපේ රටට වගේම අනෙකුත් රටවල්වලටත් වැදගත්. මතුපිටින් තිබෙන සාමය, පරවියා සංකල්පයත් ඊට යටින් තිබෙන ගිනි අවි සහ යුද්ධය යන දෙබිඩි පිළිවෙත හෙළිදරව් කළ යුතුයි. එය හෙළි කිරීම ඩයස්පෝරාවේ වුවමනාවක් වන්නේ කොහොමද? ඇමරිකාව ඇතුළු බටහිර රටවල වුවමනාව වන්නේ කේ.පී. නිදහසේ තබාගැනීමයි.


සෝල්හයිම් වැනි පුද්ගලයින් අපේ රටේ සාම කි‍්‍රයාවයලියට මැදිහත් වන්නේ හීනෙන් බයවෙලා නොවෙයි. ඔහුගේ මැදිහත්වීම පිටුපස බටහිරින් කරන ලද විශාල මැදිහත්වීමක් තිබුණා. එවැනි දේ හෙළිකරගැනීමට කේ.පී.ගේ ප‍්‍රශ්න කිරීම් වැදගත් වෙනවා. ඒ වගේම ඔහුට අයත්ව තිබූ මුදල්, නැව්, රත්තරං පිළිබඳව හෙළිදරව් කළ යුතුයි. ඔහුට අයත් නැව් 7-8ක්, බැංකු ගිණුම් 48ක්, පිළිබඳව මීට පෙර වාර්තා වී තිබුණා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ අලගිය මුලිගිය තැන් පිළිබඳව සියලූ දේ දන්නේ කේ.පී.යි රාජපක්‍ෂලා කළේ මුදල්වලට නැව්වලට, සියලූ දේ යට කිරීමයි. ඇතැම් පුද්ගලයින් රාජපක්‍ෂට එල්ල වන චෝදනාවලට අසූචි වළවල්වලට වැටිලා ගඳගහන උත්තර දෙනවා.


ඒ වගේම පසුගියදා එක්තරා පෞද්ගලික ආයතනයකට අයිති අවි තොගයක් සොයාගත්තා. “රක්නා ලංකා“ නම් එම සමාගම පාර්ලිමේන්තුවේ අනුමැතියක් සහිත ආයතනයක් නොවෙයි. අපේ රටට ගැඹුරු මුහුදේ ආරක්‍ෂාව සපයන්න ලැබුණු අවස්ථාව එම පෞද්ගලික සමාගමට ලබාගත්තා. ඒ වගේම එම ආයතනයට විශාල ලෙස අවි තබාගන්න අවසර ලබාගෙන තිබෙනවා. මෙය රටේ ජනතාව දැනගත යුතුයි. ආණ්ඩුවට ලැබෙන විශාල ආදායමක් ලබාගන්න පුළුවන් අවස්ථා පෞද්ගලික සමාගම්වලට ලබාදීම සිදුවියයුතු නැහැ. ඇතැම් දේශපාලන වශයෙන් බංකොළාත් වූ අය කියනවා මෙවැනි කරුණු හෙළිදරව් කිරීම මිලේනියම් සිටි වර්ගයේ පාවාදීමක් කියලා.


ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමෙන් ස්ථාපිත කර තිබෙන ජාතික විධායක සභාව පසුගිය අඟහරුවාදා දෙවන වරටත් රැස්වුණා. ඊට අනුබද්ධව අනුකාරක සභා කිහිපයක් මේ වනවිට ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. කඩිනමින් සිදුවිය යුතු ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සිදුකර ගැනීම සඳහා අනුකමිටුවක් සහ වංචා දුෂණ සෙවීමට අනුකමිටුවක් යෝජනා කර තිබෙනවා. ඒ වගේම පහුගිය කාලයේ සිදුවූ පැහැරගැනීම්, ඝාතනය කිරීම්, වව්නියාවේ සහ වැලිකඩ හිරගෙවල්වල සිදුවූ ඝාතන, ශිවරාම්, ලසන්ත වික‍්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ ඝාතන, වැලිවේරිය, හලාවත, කටුනායක වෙඩි තැබීම් ඇතුළු මාධ්‍යවේදීන්ට පහර දීම්, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක්ද පිහිටුවීමට විධායක සභාව අනුමත කළා.


එමෙන්ම යුද්ධය අවසානයේ උතුරු පළාතේ ජනතාවගේ වාහන සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඒවා නැවත එම ජනතාවට ලබාදීම සඳහාත් එම ජනතාවගේ ඉඩම් නැවත ලබාදීම සඳහාත් විශේෂ සොයාබැලීමක් කළ යුතුව තිබෙනවා. ඒ වගේම උතුරු පළාතේ ජනතාව එල්.ටී.ටී.ඊ සංවිධානයේ බැංකුවල උකස් තබන ලද රත්තරං නැවත එම අයිතිකරුවන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. පසුගිය ආණ්ඩුව සිදුකළේ දෙමළ ජනතාවගේ වාහන, ඉඩම්, රත්තරං නැවත ඔවුන්ට ලබාදෙනවා වෙනුවට ජාවාරම් කිරීමයි. එනිසා ජනතාවට අයිති දේවල් පූර්ණ පරීක්‍ෂණයකින් පසුව ලබාදීමට කටයුතු කළ යුතුයි. “



Post a Comment