ශිරාණි යළි අගවිනිසුරු කිරීම - මෛත්‍රී කළේ මහින්දගේ බලරහිත ක්‍රියාවක් නිවැරදි කිරීමක් විතරයි!

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිලයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කර නැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වාදෙයි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළිත් මෙරට 43 වැනි අගවිනිසුරුවරිය ලෙස එම තනතුරේ අද රාජකාරී ආරම්භ කළ අතර ඇය එම තනතුරට යළි පත්වීම සම්බන්ධව පවත්නා නීතිමය තත්ත්වය ගැන අද දෙරණ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව කියා සිටියේය.


මේ සම්බන්ධව සාලිය පීරිස් මහතා අප වෙත කළ ප්‍රකාශය වැඩිදුරටත් පහත පරිදිය.


“2012 නොවම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ අනූව තේරීම් කාරක සභාවේ කටයුතු අවසානයේ එය වාර්තාවක් නිකුත් කළා පාර්ලිමේන්තුවට.


එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව මීළඟට කළ යුතුව තිබුණේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා ඉල්ලීමක් සහිත යෝජනාවක් සම්මත කිරීමයි.


නමුත් 2013 ජනවාරී මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ෙළ් අගවිනිසුරු ඉවත් කිරීමේ යෝජනාවක් නොව නැවතත් අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විභාග කිරීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක්.


2013 ජනවාරී 11 වැනිදා සම්මත කළ යෝජනාවේ වගන්තියක් නෑ අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කරන්න කියලා. එවැනි වගන්තියක් නොමැතිවයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය ඉවත් කර නැවත මොහාන් පීරිස් මහතාව පත් කළේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙන්නේ අනිවාර්යයෙන්ම විනිශ්චකරුවෙක් ජනාධිපතිවරයා ඉවත් කරන්න පෙර පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ යුතුයි ඔහු ඉවත් කරන්න කියලා.


නමුත් ඒ අවස්ථාවේ ඉල්ලීමක් නැතිවයි අගවිනිසුරු ඉවත් කළේ. ඒ නිසා අගවිනිසුරුවරියගේ ඉවත් කිරීම මුල සිටම බලරහිත ක්‍රියාවක්. මොහාන් පීරිස් මහතා පත්කිරීමත් මුල සිටම බලරහිත ක්‍රියාවක්.


මේ අවස්ථාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇත්තේ හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත් නීති විරෝධී බලරහිත ක්‍රියාව නිවැරදි කිරීමක්.


ඒ අනූව ශිරාණි බණ්ඩාරනායක මහත්මියට නැවත වැඩ භාරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.” යනුවෙනි.



Post a Comment