අරලියගහ කුමන්ත්‍රණය ගැන රහස් පොලීසිය අගවිනිසුරුගෙනුත් ප්‍රශ්නකරයි

ජනපති මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය ගැන රහස් පොලීසිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන්ද ප්‍රශ්න කර තිබේ.

මහජන සාමය හා ආපදා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගවිනිසුරුවරයාගේ ඒ පිළිබඳ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.


හිටපු ජනපතිගේ ආරාධනයකට අනූව එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 9 වැනිදා අළුයම අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේදී අගවිනිසුරුවරයා ද එහි සිටි බව වික්‍රමසිංහ මහතා දැක තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ.


පසුව මේ සම්බන්ධයෙන් වාර්තා වූ කරුණු සැලකිල්ලට ගෙන අදාළ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට විදේශ ඇමති මංගල සමරවීර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.


ඒ අනූව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් ද රහස් පොලීසිය පසුගියදා ප්‍රශ්න කර තිබු අතර, මේ ගැන හිටපු විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගෙන් ද ඊයේ ප්‍රශ්න කර තිබුණි.



Post a Comment