අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද සඳහන් කළේය.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වුණා ලෝක වෙළඳපොලේ ඛණිජතෙල් මිල පහළ බැස ඇති අවස්ථාවක, ක්ෂණික විසඳුමක් ලෙස ඉන්ධන වලින් රජය අය කරන බිලියන 40 කට අධික බදු ඉවත්කර එම සහනය ජනතාවට ලබාදෙන බවට. එහෙත් අපි දැන් බිලියන 65 ක සහනයක් මෙම ඉන්ධන මිල අඩුකිරීමත් සමඟ මහජනතාවට ලබාදුන්නා.
ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල පහළ දැමීමට අපි ක්‍රියා කළා. ඒ අනුව ලංකා පෙට්‍රෝල් ඔක්ටේන් 92 පෙර මිල රු. 150 .00. දැන් මිල 117.00., ඔක්ටේන් 95 පෙර මිල 158.00 දැන් මිල රු. 126.00, ලංකා ඔටෝ ඩීසල් පෙර මිල රු.111.00 දැන් මිල රු. 95.00, සුපර් ඩීසල් පෙර මිල රු.133.00 දැන් මිල රු.110.00. භූමිතෙල් පෙර මිල රු. 81.00. දැන් මිල රු. 65.00, කර්මාන්ත සඳහා යොදා ගන්නා ඉන්දන පෙර මිල රු.110.00. දැන් මිල රු. 94.00 වශයෙන් ඉන්ධන මිල පහළ දමා තිඛෙනවා.
මේ අනුව ආසන්න වශයෙන් ඛණිජ තෙල් සංස්ථාවට සහ මුදල් අමාත්‍යාංශයට ලැබිමට නියමිත රු. බිලියන 65.5 අහිමි වෙනවා. අපි බලාපෙරොත්තු වෙනවා මෙම සහනය තුළින් ප්‍රවාහන ක්ෂේත්‍රයට වගේම බඩු මිලටත් සහනයක් උදා වෙයි කියලා.
මගේ මව්බිම, මම මගේ දරුවන්ට ආදරෙයි කියකියා හිටිය රාජපක්ෂ ආණ්ඩුවෙන් ගෙනගියේ මොනතරම් කෘෘර පාලනයක්ද කියලා දැන් තේරෙනවා. මේ ඔක්කෝම මුදල් ගියේ රාජපක්ෂ පවුලේ භයංකාර දූෂණයන්ට. දූෂිත ව්‍යාපාති වලට. මීට පෙර රජයන් බදු අය කලා. නමුත් ඒ පොහොසත් සමාගම් වලින්, එහෙමත් නැත්නම් සිගරට් අරක්කු වගේ අහිතකරයැයි හැඟෙන දේවල් වලින්. නමුත් රාජපක්ෂ ආණ්ඩුව බදු අය කළේ අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය වලින්. ඒකයි රාජපක්ෂ ආණ්ඩුවේ සුවිශේෂිත්වය.
අපි ඉදිරියේදී ඉන්ධන වලට විනිවිද මිල සූත්‍රයක් සකසනවා. ඒ වගේම ලබන ජූලි මස සිට විදුලිය සඳහාද නව මිල ක්‍රමයක් සකසනවා. මෙහිදී දුගී ජනතාව ගැන විශේෂ සහනයක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේ ඉන්ධනහල් හිමියන් ඉන්ධන මිලදී නොගෙන ඉඳලා, දැන් ඉන්ධන හිඟයක් මවාපානවා. ඒ වගේම අද සමහර ඉන්ධනහල් වලින් ඉන්ධන ලබානොදෙන බවට වාර්තා වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, මුදල් අමාත්‍යතුමන් ඇතුළු නව රජය මගින් ලබාදුන් මෙම සහනය, ජනතාවට ලබාදෙන ලෙස මම ඉන්ධනහල් හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .

Post a Comment