උත්තර පත්‍ර බලන පාසල් හැර සෙසු පාසල් 5දා විවෘතයි

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීම් සිදුකරන පාසල් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලු පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ලබන පස් වැනිදා ආරම්භ වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේ පාසල් 68ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් සඳහා යොදාගෙන ඇති බවයි.


ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙන්ම පාසල් ගොඩනැගිලි රැසක් යොදා ගන්නා බැවින් ලබන 7,8 සහ 9 යන දිනවල එම පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.


ජනාධිපතිවරණය සඳහා යොදාගන්නා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන 12 වැනිදා යළි විවෘත වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.


සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම් සිදුකරන පාසල් 6 වැනිදා සිට 9 වැනිදා දක්වා වසා තැබෙන අතර 12 වැනිදා පළමු පාසල් වාරය සඳහා විවෘත කෙරෙයි.


මේ අතර අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ලබන 11 වැනි දින සිට 15 වන දින දක්වා වසා තැබෙන අතර එම පාසල් නැවත විවෘත වන්නේ ලබන 16 වැනි දිනය.



Post a Comment