දින 100 දැවැන්ත අභියෝගයක් - අගමැති අමෙරිකාවට කියයි


වර්තමාන රජයේ දින 100 වැඩසටහන සාර්ථක කර ගැනීම දැවැන්ත අභියෝගයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ The Wall Street Journal සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.


මෙහිදී සිදුකිරීමට ඇති වඩාත් ප්‍රමුඛතම කාර්යයන් අතර එකක් වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් දේශපාලනීකරණය කරන ලද පොලීසිය ඉන් ගලවා ගැනීම යැයි අග්‍රමාත්‍යවරයා අවධාරණය කර ඇත.


එසේම ලංකාවේ සුළු ජන කොටසක් වන දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවට දැඩි අධිෂ්ඨානයක් නව රජය විසින්ගෙන ඇති බවද ඒ මහතා පවසා තිබේ.


ජනවාරී මැතිවරණය වෙනසක් සඳහා පැවැති ඡන්දයක් බවත්, එම වෙනස තුළින් සංහිඳියාව ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, හෙතෙම පවසා ඇත.


දෙමළ ජනතාව ජීවත්වන උතු‍රු පළාත් සභාවේ බලය වැඩිකිරීම සඳහා වත්මන් රජය සලකා බලමින් සිටින බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කර තිබේ.


එසේම පසුගිය ආණ්ඩුව විසින් චීන ණය දෙන ආයතන හා කොන්ත්‍රාත්කරුවන් සමග ඇති කරගත් ඇතැම් දූෂිත ගනුදෙනු පිළිබඳව වත්මන් කැබිනට් මණ්ඩලය කරුණු අනාවරණය කර ගැනීමේ දැඩි අරගලයකට මුහුණපා සිටින බවද ඔහු පෙන්වාදී ඇත.


රාජපක්ෂ ආණ්ඩුව විසින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇති කළ ඇතැම් දැවැන්ත ව්‍යාපෘති ටෙන්ඩර් පරිපාටිවලින් තොරව ලබාදී ඇති බවත්, ඒවා පිළිබඳව තොරතුරු විනිවිදභාවයකින් ජනතාවට ඉදිරිපත් කර නැති බවත්, අගමැතිවරයා අවධාරණය කර තිබේ.


කොළඹ, ගාලුමුවදොර ඉදිරිපිට චීන ආධාර යටතේ ඉදිකෙරෙන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පරිසර අධ්‍යයන වාර්තාවක් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඉදිකිරීම් ආරම්භ කළේදැයි සොයාබැලිය යුතුව ඇති බවද හෙතෙම පවසා ඇත.


එසේ පරිසර ආරක්ෂණ වාර්තා අධ්‍යයනයකින් පසු එහි කටයුතු ආරම්භ කළේ නම් එම ව්‍යාපෘතිය නීත්‍යානූකූල බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.


මේ අතර The Wall Street Journal වෙත අදහස් දක්වමින් පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ වත්මන් රජය විසින් එල්ල කරන දූෂණ චෝදනා කරුණු හා සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත්, එය හුදෙක් මඩ ගැසීමේ ව්‍යාපාරයක් කර ගත යුතු නැති බවත්ය.


එසේම The Wall Street Journal වෙත අදහස් දක්වමින් අල්ලස් කොමි‍සමේ අධ්‍යක්ෂ ජනරාල් ගනේෂ් ධර්මවර්ධන මහතා පවසා ඇත්තේ පසුගිය මැතිවරණයෙන් පසුව ඉතා බැරෑරුම් දූෂණ පිළිබඳ පැමිණිලි 40 ත් 50ත් අතර සංඛ්‍යාවක් මේ දක්වා ලැබී ඇති බවයි.


එය ඉතා විශාල වර්ධනයක් බවත්, මේ නිසා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එම පරීක්ෂණ සිදුකිරීම සඳහා තවත් බොහෝ නිලධාරීන් බඳවා ගැනීමට සිදුව ඇති බවත්, හෙතෙම පවසා තිබේ.



Post a Comment