දෙණියාය ජවිපෙ නායකයාට මැර ප්‍රහාරයක්

දෙනියාය, එන්සල්වත්ත වතුයායේ සේවයේ නියුතු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දෙණියාය ප‍්‍රදේශයේ සංවිධායකවරයෙකු ද වන ඒ.ඩී. ආරියදාස මහතාට ඊයේ රාත‍්‍රි 12.30ට පමණ ආණ්ඩුවේ මැර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව එම සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි.

ආරියදාස මහතා තම සේවය නිමකර නිවස බලා යමින් සිටියදි ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇතැයි හෙතෙම කියයි.


“මූත් අරුන්ගෙ එකෙක් තමයි. උඹව පොලිසියට ගෙනියන්න ඔනී. අපි එස්.ටී.එෆ් එකේ,” යැයි කියමින් මැරයෙකු විසින් ආරියදාස මහතාගේ හිසට පිස්තෝලයක් තබා බියගන්වා අතින් පයින් හා පොලූ මුගුරු වලින් පහර දී ඇත. අසල්වැසියන්ගේ පැමිණීමත් සමග මැරයන් පැනගොස් ඇති අතර ඔහු මේ වනවිට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දෙණියාය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.


ඉහත සිදුවීමට අදාළ පැමිණිල්ල දෙණියාය පොලිසිය හෝ දෙණියාය රෝහල් පොලිසිය විසින් බාරගෙන නොමැති බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම්ව පවතින අවස්ථාවක ආණ්ඩුවේ මැරයින් විසින් තමන්ට එරෙහිව කටයුතු කරන පාර්ශවයන්ගේ සාමාජිකයෙකුට සිදුකළ මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය තම සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බවත්, ආරියදාස මහතාට පහරදී නිදැල්ලේ හැසිරෙන මැරයින් වහා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට බලකර සිටින බවත් රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා කියයි.



Post a Comment