අරලියගහ මැඳුරේ මැතිවරණ යාන්ත්‍රණය බිඳ වැටිලා

තමන් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග මේවන විට අරලියගහ මන්දිරයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ වැටී එය දුක් අඳෝනාවලින් පිරුණු තැනක් බවට පත්ව ඇති බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ මැතිවරණ කටයුතු බාරව සිටින නිලධාරීන් එක්දෙනා දෙන්නා ඉවත් වෙමින් සිටින බවද , මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ අද (02) පස්වරුවේ හයිඩ් පාර්ක් පිටියේ දී පැවැති පුරවැසි බලය රැස්වීම අමතමින් කියා සිටියේය.


එහිදී අදහස් දැක්වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වූ නිසා ආණ්ඩුවට කෝටි සියයක් පමණ පාඩු වූ බවයි.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහිවීමත්, තමන් වෙනුවෙන් මුද්‍රණය කළ මඩ පෝස්ටර, බටලන්ද කියා සැදූ චිත්‍රපටත් නිසා හරිම පාඩුවක් ආණ්ඩුවට වී ඇතැයි හෙතෙම පැවසීය.


ලොව ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල විධායක ජනාධිපතිට තරඟ කළ හැක්කේ දෙවරක් වුවද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයත් සමග එය වෙනස් වී ඇතැයි ද ඔහු කියා සිටියේය.


මේ නිසා දැන් තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොව ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් යැයිද, එසේම මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොව රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩුවක් යැයිද විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.


පුරවැසි බලය සංවිධානය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ “උගුලෙන් ගැලවෙමු. ඒකාධිපතිත්වය, පවුල්වාදය, ගජමිතුරු ආර්ථිකය, දුෂණය, අවනීතිය, මිලිටරිකරණය සහ පාදකඩකරණයෙන් රට මුදා ගනිමු“ යන මැයෙනි.


එම රැස්වීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මනෝ ගනේෂන්, නීතීඥ ජේ.සී වැලිඅමුණ, ඇතුළු වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් ඊට සහභාගී වී සිටියහ.



Post a Comment