ශ්‍රී ලංකා ගමන කල්දාන්න - කතෝලික පූජකවරුන්ගෙන් පාප් වහන්සේට ඉල්ලීම්

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස ආණ්ඩුව යොදාගෙන ඇති නිසා එම සංචාරය කල්දමන්නැයි කියමින් මෙරට ඉහළපෙළේ රෝමානු කතෝලික පූජකවරුන් කිහිප දෙනෙක් හා බැතිමතුන් පිරිසක් පාප් වහන්සේගෙන් ඉල්ලීම් කර තිබේ.

අමෙරිකානු “නි‍ව් යෝර්ක්” ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි මේ ගැන වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.


පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජනවාරී මස 13 වැනිදා ආරම්භවෙයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණය ජනවාරී මස 08 වැනිදා පැවැත්වීමෙන් දින 5ට පසුව පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජොසප් වාස් පියතුමා ශ්‍රී ලංකාවේ පළමු සාන්තුවර තත්ත්වයට එසවීමට නියමිතව ඇත.


කතෝලික පුවත්පතක “මැසේන්ජර්” හිටපු සංස්කාරකවරයෙකු වන හෙක්ටර් වෙල්ගම්පොල පසුගියදා තැබූ සටහනක දැක්වෙන්නේ පාප් වහන්සේගේ සංචාරය සිදුවීමටත් පෙර ජනාධිපතිවරණයට තවත් වසර 2ක් තිබියදී නොවැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා රජය ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම ‍කතෝලික ජනතාව දැඩි වේදනාවකට පත් කළ සිද්ධියක් බවයි.


මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කර ඇති ඇතැම් කටවුට් වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවද ඔහු පෙන්වාදෙයි.


එසේම මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වතිකානුවේදී පාප් වහන්සේ මුණ ගැසුණු අවස්ථාව ද ඇතැම් පුවරුවල දක්නට ඇති බව හෙතෙම සඳහන් කරයි.


මැතිවරණ පෝස්ටර් වල ද මේ ගැන සඳහන් වන බව පෙන්වාදෙන වෙල්ගම්පොල කතෝලික නායකයින් මේ ගැන යම් අවබෝධයකින් සිටින බවත්, ජොසප් වාස් පියතුමා සාන්තුවර තත්ත්වයට එසවීමේ එම මහඟු අවස්ථාවත් ලාංකික කතෝලික ජනතාවට මෙම මැතිවරණ ව්‍යාපාරය නිසා අහිමිවන්නට ඉඩක් ඇති බවද කියා තිබේ.


තවද පාප් වහන්සේගේ මෙකී සංචාරය කතෝලික පදනම බෙදීමකට ලක්කර ඇති බවද, ඇතැම් පූජකවරුන් නිල වශයෙන් රජයට සහය පළකරද්දී තවත් පිරිසක් පාප් වහන්සේ පැමිණෙන කාලසීමාව ගැන විරෝධතා දක්වා ඇති බවද හෙතෙම කියා සිටියි.


සාමාන්‍යයෙන් වතිකානුව රට රටවල ජාතික මැතිවරණ අවස්ථාවල දේශපාලන වියවුල් මඟ හැරීම සඳහා පාප් වහන්සේගේ සංචාරයන් සැලසුම් නොකරන බවද වෙල්ග‍ම්පොලගේ අදහසයි.


මේ අතර කොළඹ අගරදගුරු පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යොදාගත් පරිදි සිදුවන බව ස්ථීර කර ඇති බවද, ඉකුත් සඳුදා වන විට එකී පෝස්ටර්, කටවුට් ඉවත් කරන ලෙස දැනුම්දී ඇතැයිද සඳහන් කරයි.


එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබඳ අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අගරදගුරු වෙත ලිපියක් ලියමින් පෙන්වාදී ඇත්තේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බවයි.


මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණීම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයට ද හානියකැයි ඔහු පෙන්වාදී ඇත.


එසේම පාප් වහන්සේගේ පැමිණීම කතෝලික ජනතාව අතර විශාල ව්‍යවසනයකටද මුල්විය හැකි බවත්, උන්වහන්සේ පැමිණියහොත් ඉන් පෙන්නුම් කරන්නේ කතෝලික ජනතාවගේ කැමැත්ත ජනපතිට බව යැයිද ඔහු සඳහන් කර තිබේ.


පසුගිය මාසය අවසන් වන තුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවතත් බලයට එමේ මහත් බලාපො‍ෙරාත්තුවකින් සිටි බවද, ඔහු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර දිනක් ඇවෑමෙන් ඔහුගේ රජයේ සෞඛ්‍ය ඇමතිවරයා තනතුරින් ඉවත්ව විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදීම මැතිවරණයේ තරඟකාරී බව පෙන්නුම් කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.


තවද ජනපතිට පක්ෂපාතිව සිටි තවත් දේශපාලනඥයින් පස්දෙනෙකු ද එසේ රජයෙන් ඉවත් වූ බවද රජයේ හවුල්කාරී පක්ෂ ඉවත්වීම ඉදිරි මැතිවරණය තියුණු මුහුණුවරක් ගෙන ඇති බවද ඔහු අවධාරණය කරයි.


මේ අතර කතෝලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිඥයෙකු වන රුකී ප්‍රනාන්දු මහතා පාප් වහන්සේ වෙත යැවූ ලිපියක් සිටිෂන් ජර්නලිසම් වෙබ් අඩවියක පළව ඇති අතර එහි දැක්වෙන්නේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට සීමාකාරී ලෙස බලපා ඇති බවයි.


ශ්‍රී ලංකාවේ මිලියන 20ක් පමණ වන ජනගහණයෙන් සියයට 6ක් පමණ රෝමානු කතෝලිකයින් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙන බවත්, බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවේ වෙසෙන අතරම මුස්ලිම් හා හින්දු විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවේ වාසය කරන බවත් “නි‍ව් යෝර්ක්” ටයිම්ස් පුවත්පත් වාර්තා‍වේ වැඩිදුරටත් සඳහන් වේ.



Post a Comment