මාව දුටු තැන අත්අඩංගුවට ගන්න කියලා

හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් කළ පහරදීමකින් තුවාල ලැබු බව කියන ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු අද (23) පෙරවරුවේ ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ, සඳුන් හේමන්ත නැමැති අයෙකි.

2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම යෙදී තිබුණ අද දින එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා ගෝමරන්කඩවල ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත.


එම අවස්ථාව වන විට විශාල පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල භුමියේ රැඳී සිට ඇති අතර,ඔවුන් පැමිණ හේතුව මන්ත්‍රීවරයා විසින් විමසා ඇති බව කියවේ. එහිදී රැඳී සිටි පිරිස් කියා ඇත්තේ, බිත්තර වී සහනාධාරය ලබා ගැනීමට පැමිණි බවයි.


එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මන්ත්‍රීවරයා ජනාධිපති හොරා..සහනාධාර අරගෙන මෛත්‍රී මහත්තයට ඡන්දය දෙන්න යැයි ප්‍රකාශ කර ඇතැයි පැවසේ.


එම අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සඳුන් හේමන්ත මන්ත්‍රීවරයා ද කියන එකත් හොරා තමයි. යනුවෙන් ප්‍රකාශ කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටී.


එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳුන් හේමන්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පහර දී ඇති අතර,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද පෙරළා ගුණවර්ධන මන්ත්‍රීවරයාට පහර දුන් බව වාර්තාවේ.


එම අවස්ථාවේ ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් පැමිණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අල්ලා ගෙන ඇති අතර,එවිට මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට පහර දී ඇති බව කියැවේ.


මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළ විට ඔහු මෙසේ කියා සිටියේය.


නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ තැපැල් ඡන්ද නිරීක්ෂණය කිරීමේ බලයලත් නියෝජිතයා මම. මම අද උදේ එම කටයුතු සඳහා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. මම වාහනෙන් බහිද්දී එතන හිටියා කලින් යු.එන්.පී. එකේ ඉදලා පසුව සන්ධානයට එකතු වුණ සඳුන් හේමන්තද මොකාද කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා. මේකා මාව දැක්ක ගමන් තෝ මොකටද මෙහෙ එන්නේ කියලා මගේ ඇඟට කඩා ගෙන පැන්නා.ඒ වෙලාවේ මගේ ආරක්ෂකයෝ දෙන්නා මිනිහව අල්ල ගත්ත. ඒ වෙලාවේ එතැන හිටිය මිනිස්සු මිනිහව අල්ල ගෙන ඇඳගෙන ගියා. ඒ අය සඳුන් හේමන්ත මන්ත්‍රීවරයාට ගැහැව්වද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා. මම ඒ වගේ නරක අශෝභන වැඩක් කරයිද? මම කුරා කුඹියෙකුටවත් වරදක් නොකරන මනුස්සයෙක්. මම මේ සම්බන්ධව ගෝමරන්කඩවල පොලිසියේ පැමිණිල්ලක් දාලා ආවා. හැබැයි,ඉතින් ඉහළින් ආපු නියෝගයකින්ද මන්දා මාව දුටු තැන අල්ලන්න කියලා පොලිසියට නියෝග කරලා තියෙනවා. මොකෝ මම මිනී මරලයැ එහෙම අල්ලන්න.හහ්..හහ්.. යනුවෙන් කියා සිටියේය.


සිද්ධිය ගැන ගෝමරන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Post a Comment