පොදු අපේක්ෂකයා ජනතාවගේ ඇස්වලට වැලිගසනවා

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විපක්ෂයේ කණ්ඩායම රටේ ජනතාවගේ ඇස්වලට වැලිගසමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිත්න මහතා පවසයි.

මෙම අශුද්ධ සන්ධානය එකිනෙකාට පරස්පර කතා කියමින් ජනතාව රවටන වැඩපිළිවෙළක් ගෙනයන බව අමාත්‍යවරයා කියා සිටියේ අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


මෛත්‍රීපාල සිරිසේන මහතාට පදනමක් නොමැති බවත්, පොදු අපේක්ෂකයෙකු වන්නේනම් පොදු ප්‍රතිපත්ති හා පොදු වැඩපිළිවෙළක් තිබිය යුතුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.


එසේ වුවද මෛත්‍රීපාල මහතා ජනාධිපති ධූරයට පත්ව දින 100 න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව කීවද, රනිල් වික්‍රමසිංහ මහතා එය පැය 24 න් කළ යුතු බව පවසන බව ඔහු පෙන්වා දුන්නේය.


එසේම පවත්නා ව්‍යවස්ථානුකූල විධිවිධාන අනුව එලෙස බලතල පැවරීමට නම් ජනාධිපතිවරයා කායික හා මානසික දුබලතාවයකින් පෙළිය යුතුව ඇති බවත්, අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කිරීමට නම් පාර්ලිමේන්තුව ජයග්‍රහණය කොට බලය හිමිවිය යුතුව ඇති බවත් ඔහු සිහිපත් කළේය.


ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විපක්ෂයේ උදවිය පවසන දේ සැබවින්ම හාස්‍යජනක බව සෙනෙවිත්න මහතා අවධාරණය කළේය.


මෛත්‍රීපාල මහතා ශ්‍රීලනිප ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන බවට තැන තැන පවසමින් ගියද, රනිල් වික්‍රමසිංහ අගමැති කළහොත් ශ්‍රීලනිප ප්‍රතිපත්ති ගෙනයන්නේ කෙසේදැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.


එබැවින් මෙම අශුද්ධ සන්ධානයේ එකම අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීම බවත්, එය මේ රටේ ජනතාවගේ අරමුණක් නොව විදේශීය බලවේගයන්ගේ හා දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment