තරුණ සේවා සභාවත් ඡන්දයට වැඩ - කැෆේ

මැතිවරණ ව්‍යාපාරය සඳහා ජාතික තරුණ සේවා සභාව විසින් “හද ගැස්ම” නමින් දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බව කැෆේ සංවිධානය කියයි.

මැතිවරණ නිරීක්ෂණයට අදාළව එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


ජාතික තරුණ සේවා සභාව විසින් “හද ගැස්ම” නමින් දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.මෙහිදී සෑම දිස්ත්‍රික්කයකින්ම තරුණ තරුණියන් කැඳවා ඔවුන්ට ආහාර පාන සහ ගමන් වියදම් ලබාදී ඉදිරියේදී රැකියා ලබාදෙන පොරොන්දුව ලබාදීම සිදු කෙරෙයි.


ප්‍රා.ලේ කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක කෙරෙයි.


මීට අමතරව දෙසැම්බර් 24 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට පැවති එජනිස අපේක්ෂකයාගේ රැළිය සඳහා සහභාගි වන ලෙස ජාතික තරුණ සේවා සභාවේ සියලු නිලධාරීන්ට බලපෑම් කර තිබේ.


ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් වාහන ඡන්ද වැඩවල


ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් අංක wp PD 2340 වෑන් රථය, අංක wp NB 3034 , wp NB 1100 යන කැබ් රථ දෙක එජනිස අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා මැතිවරණ ව්‍යාපාරයේ යොදවා තිබේ.


ගම්පහ දිවුලපිටිය ශ්‍රිලංගම ඩිපෝවේ සේවයේ නියුතු දෙහිවල ලියනගේ හියුබට් ගුණසේකර මහතාගේ තැපැල් ඡන්දය වංචනික ලෙස වෙනත් අයෙකු පාවිච්චි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.


මේ සම්බන්ධයෙන් අදාල ඡන්ද දායකයා දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. දිවුලපිටිය පොලිසිය මෙම පැමිණිල්ල යටපත් කිරීමට උත්සාහ දරමින් සිටින බව “නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” කැෆේ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.



Post a Comment