රෝහණට 444යි - කීර්තිට 641යි

අද මධ්‍යම රාත්‍රිය වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මහපරිමාණයේ සියලු ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පියවර ගන්නා බවට පොලීසියෙන් සහතිකයක් ලැබුණු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අද පෙරවරුවේ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා මේ පිළිබඳ දැනුම්දුන් බවයි.


පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පැෆ්රල් සංවිධානය අතර විශේෂ හමුවක් අද උදෑසන පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹී බව ඒ මහතා පැවසීය.


මේ අතර මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා 113ක් ඇතුළුව පැමිණිලි 444ක් ලැබී ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.


එම සංවිධානයේ ඇරයුමෙන් ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් 36 දෙනෙකු හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන් ලබන 30 වනදා සිට නිරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.


මේ අතර කුරුණෑගල, හිරියාල ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පැවසුවේය.


එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ වන විට මැතිවරණයට අදාළ පැමිණිලි 641ක් ලැබී ඇති බවයි.



Post a Comment