සී.සී.ටී.වී. වෙදාට මැයි 11දා උසාවියේ පෙනී සිටින්නැයි නියෝග

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිලියක සී.සී.ටී.වී. කැමරාවක් සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යවන ලෙස අධිකරණය අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙත නියෝග කර තිබේ.

අනුරාධපුර වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු යුරේෂා ද සිල්වා මෙනවිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.


එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට නැවත ලබන වසරේ මැයි මස 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියක සවිකර තිබු සී.සී.ටී.වී.කැමරාවේ දත්ත කොළඹ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යැවීමෙන් පසු ඒ සම්බන්ධ වාර්තාවක් මීට පෙර ද අධිකරණය වෙත යොමුකර තිබුණි.


පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අදාළ ස්ථානයේ සී.සී.ටී.වී.කැමරාව සවි කර ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහකාර පරිපාලන අධ්‍යක්ෂවරයා විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.



Post a Comment