ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එම අවස්ථාවේදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් දැක්විය.
ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරමින් ඉන්නේ ඩර්ටි ගේම් එකක්. අධිකරණය පාවිච්චි කරලා තමන්ට ඕන මතය ගත්තා. ඒ නිසාම අධිකරණය ලබාදුන් මතය අපි පිළිගන්නේ නැහැ. අවසාන මොහොත දක්වා මහින්දට බැහැ කියන සටන ගෙනියනවා.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ඉල්ලා සිටියා තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්ද සහ වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවන්න පුලූවන්ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පුළුවන් කියලා මතයක් ඉදිරිපත්කර තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට ඕනෑ කරන මතය ලබාගෙන තියෙනවා. නමුත් මෙම මතය ඉදිරිපත් කිරීමට විභාගයක් පැවැත්වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම මතය ප්‍රකාශ කිරීම ආවෘතව තමයි සිදුකළේ. වාචික දේශන ඉදිරිපත් කරන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න, අනෙකුත් පාර්ශ්වවලට ඉඩ තිබුණේ නැහැ.
සියලූ දේවල් හොර රහසේ කරපු මේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මතය පමණක් ප්‍රසිද්ධියේ කියනවා. හැම දේම අප්රසිද්ධියේ කරපු ආණ්ඩුව මතය පමණක් ප්‍රසිද්ධ කළේ ඇයි? තමන්ට එරෙහිව සමාජයෙන් එල්ල වී තිබෙන දැඩි මතය අඩපණ කරන්න ජනාධිපතිවරයා විසින් අධිකරණය පාවිච්චි කළා. නීතිවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන්, දේශපාලන පක්ෂ මහින්දරට තුන් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් දෙවන ධුර කාලයට වසර 4ක් පිරීමෙන් පසු ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් දැවැන්ත සමාජ මතයක් ගොඩනගා තිබුණා. ආණ්ඩුවේ ජනමාධ්‍ය කියනවා අධිකරණය තීරණයක් ලබාදුන්නා කියලා. මේක මතයත් පමණයි. මෙය නඩු තීන්දුවක් නොවේ. එම මතය ඉදිරිපත් කිරීමේදී නීතිමය කටයුත්තක් සිදුවුණේ නැහැ. ඒ නිසා අවශ්‍යනම් ඉදිරියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන් අවස්ථා තිබෙනවා. එහිදී සිදුවුණේ ඉතාමත් විවෘත සාධාරණ කි‍්‍රයාවලියක් නොවේ. තමන්ගේ වුවමනාවට මහින්ද රාජපක්ෂ අධිකරණය යොදාගත්තා පමණයි. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ මතය පිළිගන්නේ නැහැ. එයට කරුණු කිහිපයක් තිබෙනවා. ජනාධිපතිවරයාට තුන්වරක් බැරි බවත් දෙවන ධුර කාලයේදී වසර 4කින් ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවටත් අප කරුණු ඉදිරිපත් කළේ ව්‍යවස්ථාවට අනුවයි. එම කරුණු බිඳලා නැහැ. තවමත් වලංගුයි. මේ මතය ඉදිරිපත් කළේ අප පමණක් නොවෙයි. හිටපු අගවිනිසුරු සරත් සිල්වා, නීතිඥ සංගමය, මහාචාර්ය සූරී රත්නපාල යන සියලූ දෙනා එම මතය තහවුරු කළා. ඒ වගේම ව්‍යවස්ථාව හා අර්ථ නිරූපන පනත අනුව එම මතය පැහැදිළියි. ඒ වගේම මෙම කරුණට ජාතික වැදගත්කමක් තිබෙනවානම් ඒ සඳහා අනෙකුත් පාර්ශ්වවලට අදහස් දැක්වීමට අවස්ථාවක් තිබිය යුතුයි. රට තුළ මේ සඳහා විශාල මතයක් තිබියදී ඒ සඳහා අවස්ථාව ලබාදුන්නේ නැහැ. අධිකරණයත්, ජනාධිපතිවරයාත් කිසිදු පාර්ශ්වයකට සාධාරණ ඉඩකඩක් ලබාදීමට පියවර ගත්තේ නැහැ. නීතිඥ සංගමයට කරුණු ඉදිරිපත් කරන්නැයි ලිපිය යැව්වේ 05වැනිදා. 06වැනිදා නිවාඩු දවසක්. 07වැනි දින ප.ව. 3.00ට කලින් ලිඛිත කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලා තිබුණා. ඒනිසාම නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ප්‍රමාණවත් කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් එය ලබාදුන්නේ නැහැ.
සාමාන්‍යයෙන් අපේ රටේ අධිකරණ කි්රයාවලියකදී පත් කෙරෙන්නේ පස් පුද්ගල හෝ සප්ත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ කමිටු. නමුත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දස දෙනාම මේ සඳහා යොදා ගත්තා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මේ කර තිබෙන්නේ තමන්ට එරෙහිව තිබුණු ජනමතය තමන්ගේ ඒකාධිපති ගමන වෙනුවෙන් මැඩ පැවැත්වීමට දේශපාලන ගේමක් ගහපු එකයි. මේ ජනාධිපතිවරයාට සදාචාරයක්, නීතියක් විනිවිදභාවයක් නැහැ. ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරමින් ඉන්නේ ඩර්ටි ගේම් එකක්. ඒ නිසාම අධිකරණය ලබාදුන් මතය අපි පිළිගන්නේ නැහැ.
මෙය හුදකලා සිදුවීමක් නොවේ. අපේ රටේ අනාගත දිශානතිය පෙන්වන ප්‍රබල පියවරක්. අපේ රට මේ ගමන් කරමින් තිබෙන්නේ අර්ධ හමුදා පන්නයේ පවුල්වාදී ඒකාධිපති ගමනක් සඳහා. ජනාධිපතිවරයා මෙය ආරම්භ කළේ 2010දී. 2010 පාරිලිමේන්තු මැතිවරණයේදී 2/3ක බලයක් ඉල්ලා සිටියා. නමුත් ජනතාව දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේදීත් ගේමක් ගහලා මුදල් වියදම් කරලා එජාපයේ මන්තී‍්‍රවරු පිරිසක් අරගෙන සුජාත නොවුණු 2/3ක් හැදුවා. එම වංචාකාරී 2/3 භාවිතා කරලා තමයි 18 සංශෝධනය ගෙනාවේ. දැන් සමහරු කියනවා 18ට අත උස්සපු එකට කණගාටු වෙනවා කියලා. ජනාධිපතිවරයා මෙම 2/3 බලය රටේ ආර්ථික ප්‍රශ්න, ජාතික ප්රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් හැදීමට යොදා ගත්තේ නැහැ. එය සම්පූර්ණයෙන්ම යොදා ගත්තේ තමන්ගේ බලය වැඩිකරගැනීමට පමණයි. 17වැනි සංශෝධනය අහෝසි කළා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට තිබුණු සීමාව ඉවත්කර ගත්තා. නමුත් කඩිමුඩියේ ගෙනාපු 18 සංශෝධනය හරියට කර ගන්නත් බැරි වුණා.
2010දී මහින්දට ජනතාව ඡුන්දය දුන්නේ තුන්වැනි වරටත් ඔහු එන්නේ නැහැ කියලා හිතලා. මොකද ඒ වෙලාවේ 18 සම්මත කරලා තිබුණේ නැහැ. තුන්වෙනි වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි. එම ජනමතවිචාරණය මගහැර යන්න තමයි දෝෂාභියෝගයක් ගෙනල්ලා ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කළේ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ මිතුරෙක් දාගත්තා. අද එහි ප්‍රතිඵලය ලබාගනෙ තියෙනවා. දැන් මේ අධිකරණය මහින්ද රාජපක්ෂ විසින් අවනත කරගත්ත එකක්. නීතිය, ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන කව්රුත් අධිකරණය ලබාදුන් මතය පිළිගන්නේ නැහැ.
රටේ ජනතාවට අධිකරණය පිළිබඳව යම් විශ්වාසයක් තිබුණා. නමුත් අද මහින්දලා ශුද්ධ වූ සියල්ල කෙළෙසලා තියෙනවා. මෙය තමයි මහින්දලා අධිකරණය පත්කර තිබෙන තැන. ඌව පලාත් සභා ඡුන්දයේදී ආණ්ඩුවට වාසිවන විදියට මොණරාගල ජනතාවට සහන දෙන්න අධිකරණය තීන්දුවක් දුන්නා. නමුත් ඒ සහනය අනෙක් පළාත්වල ජනතාවට ලබා දෙන්න තීන්දුවක් ගන්න මේ අධිකරණයට බැරි වුණා. දැන් අධිකරණය මහින්දට ඕනෑ තීරණ ගන්න පුළුවන් තැනක් බවට පත්කර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා බල ලෝභයෙන් උමතු වෙලා. තමන්ගේ බලය අහිමි වේ යැයි බියවෙලා. ඒ නිසා ඕනෑම සදාචාර විරෝධී, නීති විරෝධී කි‍්‍රයා කරමින් ඉන්නවා.
තවමත් ජනාධිපතිවරණයක් නැහැ. අපි විශ්වාස කරනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරයි කියලා. එය මහින්දගේ හිතේ තියාගෙන මේ වනවිට සියලූ රාජ්‍ය බලය, රාජ්‍ය දේපල පාවිච්චි කරමින් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පමණක් තරඟය ආරම්භ කරලා බාගයක් දුවලත් ඉවරයි. ඒ නිසා අනෙක් පක්ෂවල තරඟකරුවන් තරඟයට එනවද කියලා හිතලා බලන්න ඕනෑ. ජනතාවගේ මුදල්වලින් අරලිය දන්සැල විවෘත කරලා තියෙනවා. රට පුරාම පෝස්ටර් අලවිමින් තිබෙනවා. මහින්ද තමන්ගේ ඡන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් පොලීසිය යොදාගෙන පෝස්ටර් ගහනවා. මේ සියලූම පෝස්ටර් අලවන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. රටේ නීති අමු අමුවේ උල්ලංගණය කරමින් රට පුරාම හන්දියක් හන්දියක් ගානේ කටවුට් ගහනවා. මළ ගෙදරකටවත් කොළඹ නගරයේ බැනර් එකක් එල්ලන්න නොදෙන ගොඨාභය රාජපක්ෂගේ නීති නොසලකා මහින්ද රාජපක්ෂගේ කටවුට් කොළඹ පුරා සවි කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂගේ ඇඟිලි සළකුණු සහිත කටවුට් පවා එල්ලමින් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇඟිලි සළකුණු දාන්නේ අපරාධකාරයින්ගේ. අයවැයෙන් රු. කෝටි නවසිය පනස් නවයක් වෙන්කරගත්ත ජනාධිපතිවරයා දිනපතා රාජ්‍ය උත්සව පවත්වමින් තිබෙනවා. ඒ නිසා අපි පැහැදිළිව කියනවා ජනාධිපතිවරයා කරමින් තිබෙන්නේ ඉතාම කැත සෙල්ලමක්.
මහා ලොකුවට ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන ආණ්ඩුව විරුද්ධ පක්ෂයට රැලියක් පවත්වන්න තමන්ගේ අදහස කියන්න ස්ථානයක් ලබාදෙන්නේ නැහැ. ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්‍යාපාරය පා ගමනක් සහ රැලියක් පවත්වන්න හයිඞ් පිටියත් කැම්බල් පිටියත් වෙන් කරගන්න හැදුවා. නමුත් නාගරික කොමසාරිස්වරිය ලවා වෙනත් පුද්ගලයෙකුට එම පිට්ටනිය ලබාදෙන්න කටයුතු කළා. රතන හිමියනුත් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමටත් පිට්ටනියක් ලබාදුන්නේ නැහැ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේ පවත්වන්න යන්නේ ඡුන්දයක් නොව කොල්ලයක් කියලා.
පොලීසිය, හමුදාව, අධිකරණය, පාර්ලිමෙන්තුව අතට අරගෙන තියෙනවා. තමන්ට ඕන තීන්දුව ලබාගනිමින් ඉන්නවා. මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. මේ පවත්වන්න යන්නේ ඒක පාර්ශ්වික මැතිවරණයක්. ඒ නිසා මෙම මතය පරාජයට පත්කළ යුතුයි. අධිකරණය ඉදිරිපත් කළ මතය අප පිළිනොගන්නා නිසා මහින්දට තුන්වරක් බැහැ කියන සටන අපි දිගටම ගෙනියනවා. මෙම ඒකාධිපති ගමන පරාජය කිරීම සඳහා ප්‍රබල දේශපාලන බලයක් ගොඩනැගීමට මැදිහත් වෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මෙම අසාධාරණ මතය පිලිගන්න එපා කියලා. අප උපරිම සීමාව දක්වා මෙම සටන ගෙනියනවා. අපගේ උද්ඝෝෂණ නොසලකා ඡන්දයක් ප්‍රකාශයට පත් කළොත් එම වෙලාවේ පවතින වටපිටාවට අනුව ජවිපෙ දේශපාලන තීන්දුවක් ගන්නවා.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා ඉල්ලා සිටියහොත් මැතිවරණ කොමසාරිස් එයට බැඳී ඉන්නවා. නමුත් අපි මැතිවරණ කොමසාරිස්ට කියා තිබෙනවා නීති විරෝධී මැතිවරණයක් කැඳවන්න එපා කියලා. එය නොසලකා මැතිවරණයක් කැඳවනවා නම් අධිකරණ කි‍්‍රයාමාර්ගයකට යා යුතුයි. නමුත් අපිට යන්න තිබෙන්නේ මේ අධිකරණයටම තමයි. එහිදී ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියලා අපි කව්රුත් දන්නවා.
Post a Comment