සුමනරතන හිමියන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

මඩකළපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තමන්ගේ ජීවිතයට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

අම්පිටියේ සුමනරතන හිමියන්ට අරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජකාරි නිසි ආකාරයෙන් ඉටු නොකළ බව කියමින් නැවත පොලිසියට යන ලෙසට පසු ගිය මස 20 වන දින සුමනරතන හිමියන් එම නිලධාරින්ට දැනුම් දී ඇති බව අප වාර්තාකරු කියයි.


එදින සිට විහාරස්ථානයේ ආරක්ෂාවට කිසිම නිලධාරියෙක් යොදවා නැති බව ද තමන්ට නැවතත් ආරක්ෂාවට පොලිසි නිලධාරින් ලබා දෙන ලෙසද පැමිණිල්ලේ සඳහන්ව ඇත.


යම් දෙයකින් තමන්ගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් මඩකළපුව පොලිසිය වගකිව යුතු බවද පැමිණිල්ලේ සඳහන් කළ බව උන්වහන්සේ සඳහන් කර තිබේ.


යුද්ධයෙන් බැට කෑ මඩකළපුව දිස්ත්‍රීක්කයේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තමන්ට මරණීය තර්ජන පවා එල්ල වී ඇති බවට උන්වහන්සේ පවසා ඇත.


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම විහාරස්ථානයට ආරක්ෂාව සලසා දෙන ලෙසට ලිඛිතව දන්වා තිබියදීත් ආරක්ෂක අංශ තමන්ට ඇති තර්ජනයද දැක දැක නිහඬව සිටීම පිළිබඳව තමන් කනගාටුව පළ කරන බවට අම්පිටියේ සුමනරතන හිමියන් පවසා තිබේ.



Post a Comment