නාය යාහැකි තැන් සියල්ල හඳුනනවා - නිසි පියවර නොගත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ නායයෑමට ලක්විය හැකි ස්ථාන සියල්ලම පාහේ හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

නායයෑමට ලක්වු මීරියබැද්ද ප්‍රදේශය සම්බන්ධයෙන් ද මීට පෙර අනතුරු ඇඟවීම් සිදුකර තිබු බව හෙතෙම සිහිපත් කරයි.


කෙසේ වෙතත් නායයෑමට ලක්වු කොස්ලන්ද මිරියබැද්ද භූමි ප්‍රදේශය අයත් වැවිලි සමාගම මේ සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම පිළීබඳව අද දෙරණ අදාළ සමාගමෙන් කළ විමසීමේදී කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.


මේ පිළිබඳ අද දෙරණ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ මහතාගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ සිදුකළ අනතුරු ඇඟවීම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමයේ සමාගම් ක්‍රියා කර ඇති බවයි.


එහෙත් අදාළ සමාගම මෙම සිද්ධියේ දි කුමන ක්‍රියා මාර්ගයක් ගත්තේ ද යන්න තමාට ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම කියා සිටියේය.


සාමාන්‍යයෙන් අනතුරු ඇඟවීම් සිදුකළ විට ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ මහතා පවසයි.


ඉදිරියේ දී ද ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව රොෂාන් රාජදුරේ මහතා වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment