දුවන බව්සරයෙන් හොරට තෙල් ඇදලා - තිදෙනෙක් දැලේ

ඉන්ධන සංස්ථාවට අයත් බව්සරයකට ධාවනය සඳහා නිකුත් කර තිබූ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමට උත්සහ කළ එම බව්සරයේ රියදුරු,රිය සහායකවරයා සහ ඉන්ධන මිලදී ගැනීම සිදු කළ සැකකරු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) රාත්‍රීයේ මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


සැකකරුවන් විසින් අලෙවි කිරීම සදහා සුදානම් කර තිබුණු ඩීසල් ලීටර් 40 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.


ඒ සමගම ඉන්ධන ජාවාරමට යොදා ගත් පෙට්‍රල් ලීටර් 19,800 ක් අඩංගු බව්සරයක් සහ ත්‍රීරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කිරිදිවැල,පන්නල සහ පුලිච්චාකුලමේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.


ඉන්ධන සංස්ථාවට අයත් බව්සර් වලින් අතර මගදී හොර රහසේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු මුන්දලම පොලීසියට ලැබී තිබුණු අතර ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකින් පසුව මෙම වැටලීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති බව්සරයේ ධාවනය සදහා පුරවා තිබූ ඉන්ධන ටැංකියෙන් මෙම ඉන්ධන සොරකම් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.


සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතය.


මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි,රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුභසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment