මීරියබැද්දේ මෙහෙයුම් යළි අරඹයි - 818 ක් අවතැන්

හල්දුම්මුල්ල, කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු අද(30) දිනයේ යළි ආරම්භ කර තිබේ.

මේ වන විට අදාළ ප්‍රදේශය කාලගුණික තත්ත්වය යහපත් මට්ටමකින් පවතින බව සඳහන් වෙයි.


ඊයේ(29) පස්වරුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුණි.


එසේම මේ වන විට අවතැන් වූ පුද්ගලයින් 818 දෙනෙකු සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්. උදයකුමාර මහතා අද දෙරණට පැවසුවේය.


තවද අවතැන් වූ පුද්ගලයින් අතරින් පවුල් 146 ක පුද්ගලයින් 518 දෙනෙකු කොස්ලන්ද දෙමළ විද්‍යාලයේ සිටින බවත්, පවුල් 97ක පුද්ගලයින් 300 දෙනෙකු පූනාගල දෙමළ මහා විද්‍යාලයේ සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.


එම පුද්ගලයින් සඳහා මේ වන විටත් අහාරපාන ආදිය රජය මෙන්න රාජ්‍ය නොවන ආයතනද එක්ව ලබාදෙමින් සිටින බවද වාර්තා වෙයි.


අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සඳහා යුධ හමුදා නිලධාරීන් පන්සිය දෙනෙකු පමණ යොදවා ඇත.


මීරියබැද්ද ප්‍ර දේශයේ ඊයේ පෙරවරුවේ ඇති වු නායයෑම් තත්ත්වය හේතුවෙන් වතු නිවාස 120ක් පමණ යටවී තිබුණි.


එසේම ඊයේ දීනයේදී අදාළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගල මළ සිරුර 10ක් සොයා ගැනීමට හැකි විය.



Post a Comment