මහින්ද වැඩ අරඹයි - පොලිස් ලොක්කන් 4ට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති 04ක් ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

නීතිය හා සාමය පිළිබඳ ලේකම් ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ නියෝගය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි වාර්තා වේ.


නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකුට, පොලිස් අධිකාරිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


මීට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන් 08 දෙනෙක් ද ස්ථාන මාරුවීම් කර තිබේ.


මෙම ස්ථාන මාරුවීම් අද දිනයේ ‍සිට බලපැවැත්වෙන බව සඳහන්ය.


මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ සේවා අවශ්‍යතාවන් මත අදාළ ස්ථාන මාරුවීම් ලබා දි ඇති බවයි.


ඒ අනුව පොලිස් විශේෂ කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ මහේෂ් පෙරේරා මහතා පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා කෑගල්ල සහ රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථන මාරුවීම් සිදුකර තිබේ.


එමෙන්ම විනය හා කල්ක්‍රියා කොට්ඨාසය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතා අපරාධ කොට්ඨාසයටත්, නියෝජ්‍ය පොලිස්පති ඒ.ආර් වෛද්‍යලංකාර මහතා පොලිස් මූලස්ථානයේ සිට පුත්තලම දිස්ත්‍රික්ක බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇත.



Post a Comment