2015 අය වැය - ජනාධිපතිවරණ කි‍්‍රයාදාමය පෙරට ගෙනයාමක්


අය වැයෙන් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස ඉල්ලා සිටිය ද අධ්‍යාපනයට බිලියන 47.6 ක් වෙන් කොට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට බිලියන 342.5ක් වෙන් කිරීම තුළ පැහැදිලි වන්නේ රටේ ප‍්‍රමුඛතාවය අධ්‍යාපනයට නොවන බව යැයි ලංකා ගුරු සංගමය පවසයි.


එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අය වැය යෝජනාවලියේ අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කර ඇති මුදල් පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


2015 අයවැයෙන් ගුරු-විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බලාපොරොත්තු බිඳවැටේ


2015 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ වසරේදීත් ද්විතීයික පාසල් දහස හා ප‍්‍රාථමික පාසල් 5000 ක් සංවර්ධනය කරන බව පවසමින් සමස්ත පාසල් 9905 න් ඉතිරි පාසල් 3905 ට සිදුවන ඇබැද්දිය වසන් කොට ඇත. පසුගිය වසරේ මෙන්ම මහින්දෝදය විද්‍යාගාර දහස උත්කෘෂ්ටයට නන්වමින් පාසල් 9905ම සමාන සංවර්ධනයක් සිදු නොවන බව ජනාධිපතිවරයා සිය ප‍්‍රකාශයෙන්ම තහවුරු කොට ඇත.


ශී‍්‍ර ලංකාවේ පාසල් 9905න්, 1 ඒබී පාසල් 748 ක් ඇති අතර (උසස් පෙළ කලා, වාණිජ, විද්‍යා විෂය ධාරා ඇති පාසල්) 1 සී වර්ගයේ පාසල් 2038 ක් ඇත. (උසස් පෙළ කලා සහ වාණිජ විෂය ධාරා ඇති පාසල්) එසේම 2 වර්ගයේ පාසල් 3910 ක් (1 සිට 11 ශ්‍රේණිය දක්වා) ඇත. මෙම පාසල්වලින් උසස්පෙළ කලා, වාණිජ, විද්‍යා විෂයධාරා ඇති පාසල් ප‍්‍රමාණය දහසකට සීමා කිරීම තුළ උසස්පෙළ විෂය ධාරාව ඇති පාසල් 2000 කට ආසන්න ප‍්‍රමාණයක් පිළිබඳ කිසිදු සඳහනක් නැත. 1 ඒබී පාසල් 748 පාසල් දහස දක්වා වැඩි කිරීම දැවැන්ත සංවර්ධනයක් බව හුවා දැක්වීමේ මිථ්‍යාව තුළ සිදුවන්නේ අධ්‍යාපන කප්පාදුව වසන් කිරීමයි.


එසේම මෙවර අයවැයෙහි දෙලක්ෂ විසිහතර දහසක් වන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවා ව්‍යවස්ථා ඉදිරිපත් කොට ඇති බව සඳහන් වුවද ඒ සමග ලබාදී ඇත්තේ 2008 වසරේ ආණ්ඩුව යෝජනා කළ එහෙත් වෘත්තීය සමිති විසින් ප‍්‍රතික්ෂේප කළ සොච්චම් වැටුපයි.


අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස ඉල්ලා සිටිය ද සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 47.6 ක් වෙන් කොට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට බිලියන 342.5 ක් වෙන් කිරීම තුළ පැහැදිලි වන්නේ රටේ ප‍්‍රමුඛතාවය අධ්‍යාපනයට නොවන බවයි.


රාජ්‍ය සේවකයින්ගේ අතට රු.2200 ක වැටුප් වැඩිවීමක් ලබාදෙමින් රුපියල් දසදහසක් ලැබෙන බව පෙන්වීම හා ගුරුවරු සඳහා මෝටර් සයිකල් ලබාදෙන බව ප‍්‍රකාශ කරමින් ඒ සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙල පැහැදිලි නොකිරීම තුළ පෙන්නුම් කරන්නේ අනාගත බලාපොරොත්තු ලබාදෙමින් ආණ්ඩුවේ ජනාධිපතිවරණ කි‍්‍රයාදාමය පෙරට ගෙන යන බවකි.


එසේම රටේ තරුණ පරපුර සොච්චම් දීමනාවකට ගුරු සේවයට බඳවා ගන්නා බවට සිදුකර ඇති ප‍්‍රකාශය ද අප දැඩි ලෙස හෙළාදකිමු. මෙම රැවටීම් සහගත කි‍්‍රයාදාමය වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ඉදිරි පියවර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.


ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්



Post a Comment