‘අයිස් බකට් අභියෝගය‘ මෝඩ චූන් දේශපාලනයක් වෙලා

ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා පුද්ගලයෙක් මාරාන්තික රෝගයකින් මියයන තම මිතුරාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් එකතුකර ගැනීම සඳහා ආරම්භ කරන ලද 'අයිස් බකට් අභියෝගය' අද ලංකාවේ ද බටහිර මෝස්තරයන්, වහලුන්සේ අනුගමනය කරන දේශපාලඥයින් කිහිපදෙනෙක්ට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ‘මෝඩ චූන්‘ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.


ඇමරිකාවේ කෝරි ග්‍රිෆින් නැමැති තරුණයා මෙම අයිස් බකට් අභියෝගය ඉන්ටනෙට් ජාලය හරහා හඳුන්වා දුන්නේ මාරාන්තික ස්නායු රෝගයකින් (Motor Neurone Disease) පෙළෙන පීට් ෆ්‍රෙට් නැමැති තම මිතුරා වෙනුවෙනි.


මේ හරහා ඔහු ඩොලර් ලක්ෂයක් පමණ තම මිතුරා වෙනුවෙන් එකතු කර ලබා දී ඇත. ඉන් පසුව මෙය බටහිර ලෝකයේ සිටින සුප්‍රසිද්ධ නළුනිළියන්, ගායකයන් සහ ක්‍රීඩකයන් අතර ඉන්ටර්නෙට් ජාලය හරහා මෝස්තරයක් බවට පත්වී ඇති අතර මේ තුළින් මෙම තිස් දහසකට වැඩි ඇමරිකානු ජාතිකයන්ට වැළඳී ඇති මෙම භයානක රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට ද විශාල මුදලක් එකතුකර ඇත.


ඇමරිකාව එංගලන්තය වැනි සීත රටවල අයිස් කැට පිරවූ බාල්දියකින් තමන්ගේ ශරීරයට ජලය වක්කරවා ගැනීම සැබෑ ලෙසම අභියෝගයකි. එපමණක් නොව උෂ්ණත්වය වැඩිවන ගිම්හාන කාලයේදී පවා උණුවතුරෙන් නෑමට පුරුදු වී සිටින ඒ රටවල ජනතාවට සීතල වතුරෙන් ස්නානය කිරීම හුරු පුරුදු දෙයක් නොවේ.


නමුත් ලංකාව වැනි ග්‍රීස්ම රටවල්වල සිටින සුපිරි පැළැන්තියේ සුළුතරයකට අමතරව බොහෝ දෙනා පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජලයයි. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, බදුල්ල, නුවරඑළිය වැනි ප්‍රදේශවල ජීවත්වන සාමාන්‍ය ජනතාව සෑම උදෑසනකම ළිඳෙන්, පීල්ලෙන්- පයිප්පෙන්, දිය ඇල්ලෙන් නාන විට අයිස් බකට් අභියෝගයට දෛනිකව මුහුණ දෙයි. නමුත් මේ නිහඬ අහිංසක බහුතරයගේ පින්තූර, වීඩියෝ ගන්නටවත් ඉන්ටර්නෙට් ජාලයේ ඔවුන් දිනපතා මුහුණ දෙන මේ අභියෝගය ගැන පෙන්වා දීමටවත් කිසිවෙකු නොමැත.


එපමණක් නොව අද විශේෂයෙන්ම මොණරාගල, හම්බන්තොට වගේම දිස්ත‍්‍රික්ක කිහිපයකම තදබල නියඟය නිසා එහි ජීවත්වන ජනතාව බරපතළ පීඩනයකට ලක්ව ඇති මොහොතක තමන්ගේ තාත්තලාගේ නම් උගස්කර දේශපාලනයට රිංගාගත් ආණ්ඩුවේ ඇතැමුන් කොළඹ සිට ජලය මේ ආකාරයට නාස්ති කිරීම, නියඟය නිසා දැඩි සේ පීඩාවට පත්ව සිටින ජනතාවට කරන එක්තරා සරදමක් වැනිය.


මේ රටේ බහුතරයක් අද ජීවත්වීමට බැරුව පීඩා විඳින මොහොතක, දරුවන්ට කන්න දෙන්න බැරි අම්මලා, තාත්තලා සිය දරුවන් මරා දැමීමට පවා පත්ව ඇති යුගයක, එසේ නැතිනම් සිය දරුවන් සමග දිවි නසා ගන්නා යුගයක, මහජනතාවගේ මුදලින් ජාත්‍යන්තර ජාවාරම්කාර මුදලාලි පැළැන්තිය වෙනුවෙන් කොළඹ නගරයේ පාරම්පරික ජනතාව මහ පාරට ඇද දමා සුපිරි මන්දිර ඉදිකරන, ජාත්‍යන්තර ගණිකාවන් රටට ගෙන්වාගෙන අගනුවර පමණක් නොව මහනුවර පූජනීය නගරයේ පවා නයිට්රේස් පවත්වන රාජපක්ෂ රෙජිමයේ මෙම පුයරු බබාලගේ 'අයිස් බකට්' ක්‍රියාකලාපයෙන් නැවත වරක් තහවුරු වන්නේ මේ ආණ්ඩුවේ ජනතා විරෝධී 'මරි ඇන්ටනෙට්' ආකල්පයයි:


පාන් නැත්නම් කේක් කාපල්ලා කියා රාජපක්ෂලා ජනතාවට කියන දවස වැඩි ඈතක නොවනු ඇත.



Post a Comment